වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය

5
Major Clubs 3 Day

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club තෙදින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වෙන්නෙ Colts කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්.

>>Colts ක්‍රීඩකයෝ Major Club ශූරයන් බවට පත් වෙයි<<

තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් එක් වූ අතර එහි දී පළමු වටය කණ්ඩායම් 7ක් බැගින් එක් වූ A සහ B කාණ්ඩ ද්විත්වයක්  යටතේ පැවැතියා. එම වටයේ එක් එක් කාණ්ඩයේ කණ්ඩායම් ලබා ගත් ප්‍රසාද ලකුණු මත පළමු කණ්ඩායම් 4 සුපිරි 8 වටයට එක් වූ අතර අනෙක් කණ්ඩායම් Plate තරගාවලිය සඳහා එක් වූවා.

Plate තරගාවලිය මීට පෙර පැවැති අතර එහි දී Kurunegala Youth ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 55.39ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියන් වෙමින් එහි ශූරයන් බවට පත් වෙනවා.

>>Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ<<

තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ඉන් අනතුරු ව පැවැති අතර එහි දී Colts කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ ප්‍රසාද ලකුණු 72.765ක් ලබා ගනිමිනුයි. එහි 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 71.795ක් ලබා ගත් Ace Capital කණ්ඩායම සතු වෙන අතර 3 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 58.635ක් ලබා ගත් Moors කණ්ඩායම සතු වෙනවා.

තරගාවලිය තරග 67ක ඉනිම් 222කින් සමන්විත වූ අතර ද්විත්ව ශතක 8ක්, ශතක 82ක් සහ අර්ධ ශතක 268ක් සමඟින් එක් වූ ලකුණු සංඛ්‍යාව 57147ක්. ඒ අතරට හතරේ පහර 5407ක් සහ හයේ පහර 691ක් ද එක් වෙනවා.

තරගාවලියේ යැවුණ පන්දු සංඛ්‍යාව 95836ක් වන අතර දැවී ගිය කඩුලු සංඛ්‍යාව 1793ක්.

ඒ දත්ත මත ගෙවුණ Major Club තරගාවලියේ සුවිශේෂී දක්ෂතා ගැන සටහනකුයි මේ.

තරගාවලියේ වඩාත් ම වටිනා ක්‍රීඩකයා – වනුජ සහන් (Ace Capital CC)Ace Capital CC

22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන වනුජ සහන් මෙවර තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත් වෙනවා. වමත් පිතිකරුවෙක් වනුජ සහන් මෙවර තරගාවලියේ දී තරග 10ක ඉනිම් 17ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 484ක් වන අතර දවා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 54ක්. ඔහු එහි දී දෙවැනි වන්නේ තරගාවලියේ වැඩිම කඩුලුලාභී දිලුම් සුදීරට පමණයි.

ඒ ආකාරයෙන් දක්ෂතා දැක් වූ ඔහුගේ, මෙවර තරගාවලියේ හොඳම ඉනිම බවට පත් වුණේ Badureliya කණ්ඩායමට එරෙහි ව පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 153යි. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

ඊට අමතර ව ඔහු NCC කණ්ඩායමට එරෙහි ව ද ශතකයක් ලබා ගන්නවා. එහි දී ඔහුගේ දක්ෂතාව වූයේ පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 120යි.

වමතින් දඟ පන්දු යවන ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම පන්දු යැවීමේ දක්ෂතාව බවට පත් වූයේ Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණ 43කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 88කට කඩුලු 5ක් සහ Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 52කට එරෙහි ව කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මේ දක්වා පළමු පෙළ තරග 49කට සහභාගී වී ඇති වනුජ සහන් ඉනිම 72ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1622ක් ලබා සිටින අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 241ක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – ලහිරු උදාර (NCC)NCC

32 හැවිරිදි වියේ පසුවෙන ලහිරු උදාර මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වෙනවා. ඒ ඔහු විසින් තරගාවලිය අවසන් වෙද්දී ලබා සිටි ලකණු 908ත් සමඟිනුයි. ටෙස්ට් තරග 2ක් සහ විස්සයි විස්ස තරගකයට සහභාගී වී ඇති ලහිරු උදාර පළමු පෙළ තරග 119කට මුහුණ දෙමින් ශතක 19ක් සහ අර්ධ ශතක 40ක් සමඟින් ලකුණු 8323ක් ලබා සිටින ක්‍රීඩකයෙක්. ඒ අතර ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වී ඇත්තේ Ragama කණ්ඩායමට එරෙහි ව NCC පිටියේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 290යි.

ඔහු මෙම තරගාවලියේ දී ඉනිමක වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ Police කණ්ඩායමට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 315කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 261යි. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

ඊට අමතර ව ඔහුගේ ඉනිම් අතර Bloomfield කණ්ඩායමට එරෙහි ව ලකුණු 126ක් සහ Colts කණ්ඩායමට එරෙහි ව නොදැවි ලකුණු 100ක් වාර්තා කරනවා. ඔහු මෙම ඉනිම් ත්‍රිත්වය ම වාර්තා කරන්නෙ පිට පිට ඉනිම් ත්‍රිත්වයක දී වීම වඩාත් සුවිශේෂියි.

ඔහු පෑ මෙම දක්ෂතාවේ දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 60.53ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් වූ අතර සහභාගී වූ ඉනිමේ 17 දී හතරේ පහර 102ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද පත් වුණා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – දිලුම් සුදීර (Police SC)

Police SC

25 හැවිරිදි වියේ පසුවෙන දිලුම් සුදීර මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ කඩුලු 61ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Panadura කණ්ඩායමට එරෙහි ව මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී ලකුණු 91කට දවා ගත් කඩුලු 6යි.

එම තරගයේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 77කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු එම තරගයේ දී ලකුණු 168කට කඩුලු 11ක් දවා ගන්නවා. එය මෙවර තරගාවලියේ ඔහුගේ තරගයක දක්ෂතම පන්දු යැවීමයි.

එමෙන් ම ඔහු කඩුලු 5ක් බැගින් දවා ගත් අවස්ථා 7ක් උදාකර ගන්නා අතර එය මෙවර තරගාවලියේ එවන් දක්ෂතා දැක්වූවන්ගේ ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වීමට ද හේතු වුණා.

වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර මීට පෙර වසරේ දී ද තරග 8ක දී කඩුලු 61ක් ලබා ගනිමින් එවර ද දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණා.

දිලුම් සුදීර මේ දක්වා පළමු පෙළ තරග 58ක ඉනිම 99ක පන්දු යවා ඇති ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 258ක්. ඒ අතර කඩුලු 4ක් බැගින් දවා ගත් අවස්ථා 12ක් සහ කඩුලු 5ක් බැගින් දවා ගත් අවස්ථාව 22ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.

එමෙන් ම ඔහුගේ දක්ෂතා අතර පළමු පෙළ එක්දින සීමිත පන්දුවාර තරග 73ක ලබා ගත් කඩුලු 132ක් ද තිබෙනවා.

තරගාවලියේ සුවිශේෂී කඩඉම්

6316/9 : තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ NCC කණ්ඩායම විසින් Police කණ්ඩායමට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

1086 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නේ NCC කණ්ඩායම සහ Police කණ්ඩායම එක් ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

1000+ : මෙම තරගාවලියේ දී කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලකුණු 1000ක් ඉක්ම වූ අවස්ථා 10ක් වාර්තා වීම කැපී පෙණෙනවා.

908 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ NCC කණ්ඩායමේ ලහිරු උදාර.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 ලහිරු උදාර NCC 10 17 2 908 261 60.53 3 3
2 පවන්ත වීරසිංහ Ace Capital 10 19 0 872 121 45.89 2 8
3 අශේන් බණ්ඩාර Police 10 16 0 851 200 53.18 3 4
4 දිනේෂ් චන්දිමාල් Colts 9 13 0 849 152 65.30 3 3
5 පවන් රත්නායක CCC 9 12 1 810 221 73.63 3 4

102x4s : මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුයේ NCC ලහිරු උදාර.

25x6s : නිමා වූ මෙම තරගාවලියේ දී වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ Tamil Union කණ්ඩායමේ සචිත ජයතිලක.

285 : මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව වාර්තා වෙන්නේ Tamil Union කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් සහ මිනෝද් භානුක එක් ව NCC කණ්ඩායමට එරෙහි ව 4 වැනි කඩුල්ලට රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

>>නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි<<

61 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ Police කණ්ඩායමේ දිලුම් සුදීර.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
  Player Team Mat Overs Mdns Runs Wkts Best 4 5
1 දිලුම් සුදීර Police 10 454.4 73 1532 61 6/69 3 5
2 වනුජ සහන් Ace Capital 10 388.3 50 1368 54 5/43 5 7
3 අකිල දනංජය Colts 10 356.5 42 1197 53 7/39 2 4
4 නිශාන් පීරිස් CCC 10 353.2 75 914 42 7/67 0 3
5 ශක්ති උදාර NCC 7 270.4 29 982 41 6/98 4 3

7/38 : මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Tamil Union කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ලහිරු සමරකෝන්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී Nugegoda කණ්ඩායමට එරෙහිවයි.

13/82 : මෙවර තරගාවලියේ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ද ලහිරු සමරකෝන් විසින් එම තරගයේ දී පෑ දක්ෂතාවයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<