NCC සහ CCC Major Clubs T20 අවසන් පූර්ව වටයට

Major Clubs T20 Tournament 2025

26
Major Club T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (11) ආරම්භ වූනා. ඒ අනුව පැවැති 1 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී Tamil Union C & AC කණ්ඩායමට පරාජයට පත් කළ NCC කණ්ඩයම ද සහ 2 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී BRC කණ්ඩායම පරාජයට පත් කළ CCC කණ්ඩායම් ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

NCC සහ Tamil Union C & AC කණ්ඩායම් අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – Tamil Union C & AC

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Tamil Union C & AC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගන්නවා.

එම ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 49කට දැවී ගිය අතර ඊට පසුව කඩුල්ලේ දී භානුක රාජපක්ෂ සහ විහස් තෙව්මික එක් ව පන්දු 45ක දී ලකුණු 71ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.

එහි දී භානුක රාජපක්ෂ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා. විහස් තෙව්මික ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25ක්. ඔහුගේ ඉනිම පන්දු 28කින් සමන්විත වූ අතර ඊට හතරේ පහරක් ද එක් කර තිබුණා.

ඊට අමතර ඔවුන්ගේ ඉනිම අවසන් වන විට ලහිරු සමරකෝන් පන්දු 17කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද සහ සචිත ජයතිලක පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර චාමික කරුණාරත්න ද කඩුල්ලක් දවා ගත්තා.

එම ඉනිමෙන් අනතුරු ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර නැවත තරගය ආරම්භ වෙන්නේ NCC කණ්ඩායමේ ජයග්‍රහණයට පන්දුවාර 5කට ලකුණු 55ක ඉලක්කයක් ලබා දෙමින්.

එහි දී ඔවුන් එම ඉලක්කය තවත් පන්දු 6ක් ඉතිරි ව සපුරා ගන්නවා. එහි දී ආරම්භක පිතිකරු ජීවක සශීන් පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.

ඊට අමතර ව නිරෝෂන් දික්වැල්ල පන්දු 5ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 4ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී විහස් තෙවිම්ක සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Tamil Union C & AC – කඩුලු 6ක් දැවී 167 (20.0) භානුක රාජපක්ෂ 62, විහස් තෙව්මික 25, ලහිරු සමරකෝන් නොදැවී 19, කමිල් මිෂාර 2/10, සහන් ආරච්චිගේ 2/16
  • NCC – කඩුලු 2ක් දැවී 55 (4.0) ජීවක සශීන් 24, නිරෝෂන් දික්වැල්ල 15, චාමික කරුණාරත්න නොදැවී 12

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.

BRC සහ CCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී

o කාසියේ වාසිය – BRC

කාසියේ වාසිය දිනා ගත් BRC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 179ක් ලබා ගන්නවා. ඔවුන් තමන්ගේ පළමු කඩුල්ලේ දී ම පන්දු 38ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කර ගනිමිනුයි මෙම දැවැන්ත ලකුණු පුවරුවට මුල්ගල තබන්නේ.

ඉනිම ආරම්භ කළ ක්‍රීඩකයන් අතුරින් නිශාන් මදුශ්ක පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 79ක් ලබා ගන්නවා. එය ඔහු මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.

ඔහුට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක වනිඳු හසරංග පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ද සහ ඔහුගේ සොයුරු චතුරංග ද සිල්වා පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී 17 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන චාමික හීනටිගල ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව මර්වින් අභිනාශ්, ශෂික දුල්ශාන් සහ මොහොමඩ් ශිරාෂ් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BRC කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාරයකුත් පන්දු 5ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එතැන් සිට තරගය නතර කෙරුණ අතර ඒ වෙද්දී ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබා සිටියා.

අනතුරු ව නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 5ක දී ජයග්‍රහණය සඳහා ලකුණු 56ක ඉලක්කයක් BRC කණ්ඩායමට ලබා දෙමින්. නමුත් තරගය අවසන් වන විට ඔවුන්ට ලබා ගැනීමට හැක් වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 39ක් පමණයි.

එම ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 16ක් තුළ දවා ගැනීමට CCC ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. එහි දී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 3ක් ද සහ නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා.

පරාජිත BRC ඉනිමේ වැඩිම ලකුණුලාභියා වී සිටියේ මර්වින් අබිනාශ්. ඔහු පන්දු 7කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ජයග්‍රාහී CCC ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • CCC – කඩුලු 6ක් දැවී 179 (20.0) නිශාන් මදුශ්ක 79, ලසිත් කෲස්පුල්ලේ 35, වනිඳු හසරංග 19, චතුරංග ද සිල්වා නොදැවී 19, චාමික හීනටිගල 3/22
  • BRC – කඩුලු 5ක් දැවී 39 (5.0) මර්වින් අභිනාශ් නොදැවී 11, නුවන් තුෂාර 2/13, ඉසුරු උදාන 3/15

CCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 17ක ජයක්.

හෙට (12) තරගාවලියේ 3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙසින් Moors SC සහ Bloomfield C & AC අතර තරගය, 4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙසින් Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<