Panadura සහ CCC Major Clubs T20 අවසන් මහා තරගයට

8
Major Club T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Panadura SC කණ්ඩායම සහ CCC කණ්ඩායම සමත් වුනා.

කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් පූර්ව වටයේ දී Panadura SC කණ්ඩායම NCC කණ්ඩායම පරාජය කරමින් ද CCC ක කණ්ඩායම Moors SC කණ්ඩායම පරාජය කරමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.

1 වැනි අවසන් පූර්ව තරගය

Panadura SC සහ NCC කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – Panadura SC

කාසියේ වාසිය දිනා ගත් Panadura SC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කරන්නට එරංග ජයකොඩි සහ විශේන් හැළඹගේ සමත් වෙනවා. එරංග ජයකොඩි පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

විශේන් හැළඹගේ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. ඒ විශේන් හැළඹගේ මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 3 වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නිමේෂ් විමුක්ති පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත් අතර ඔහු සහ නායක දුශාන් හේමන්ත එක් ව පන්දු 35ක දී ලකුණු 40ක සබඳතාවක් එක් කළා. එහි දී දුශාන් හේමන්ත පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව පිටියට පිවිසි නිසල තාරක (2), සසිඳු මල්ශාන් (4) සහ විශ්ව ලහිරු (7) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගනිද්දී ඉනිම අවසන් වන විට සහන් මිහිර (0) සහ නඳුන් දර්ශන (1) නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුශ්මන්ත චමීර ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රවීන් සේයර්, ලසිත් ඇඹුල්දෙණිය, චාමික කරුණාරත්න සහ මතීශ පතිරණ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි NCC කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 13ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ දී නතර කරන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 74ක් ලබා සිටියා.

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර ඒ හේතුවෙන් ගණනය කෙරුණ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් NCC කණ්ඩායමට තමන් ගේ දැවී ගිය කඩුලු 7 වෙද්දී ලකුණු 122ක් අවශ්‍ය වූවත් එම සීමාවට වඩා ලකුණු 48ක් මෙපිටිනුයි හිටියේ.

NCC ඉනිම වෙනුවෙන් ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ ජීවක සශින්. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගත්තා. ඊට අමතර ව නිරෝෂන් දික්වැල්ල පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ කවින් බණ්ඩාර පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව කමිල් මිෂාර (0), නායක සහන් ආරච්චිගේ (6), දුශ්මන්ත චමීර (4) සහ දිනෙත් ගුණවර්ධන (1) අඩු ලකුණුවලට සීමා වෙද්දී තරගය නතර කරන විට චාමික කරුණාරත්න ලකුණු 5ක් ද සහ රවීන් සේයර් ලකුණක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී විශ්ව ලහිරු ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දුශාන් හේමන්ත සහ සෙනිත හැළඹගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Panadura SC – කඩුලු 7ක් දැවී 165 (20.0) විශේන් හැළඹගේ 55, නිමේෂ් විමුක්ති 43, දුශාන් හේමන්ත 21, දුශ්මන්ත චමීර 2/17

 

NCC – කඩුලු 7ක් දැවී 74 (13.0) නිරෝෂන් දික්වැල්ල 19, ජීවක සශීන් 22, සෙනිත හැළඹගේ 2/23, විශ්ව ලහිරු 3/14, දුශාන් හේමන්ත 2/21

Panadura SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 48ක ජයක්.

2 වැනි අවසන් පූර්ව තරගය

CCC සහ Moors SC අතර කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – CCC

විදුලි ආලෝක මධ්‍යයේ පැවැති මෙම තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 8කට සීමා වුනා.

ඒ අනුව උරගා බැලුණ තරගයේ කාසියේ වාසිය දිනා ගත් CCC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා. ඒ අනුව පළමුවෙන් පිටියට පිවිසි Moors SC කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 86ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායක රමේෂ් මෙන්ඩිස්. ඔහු පන්දු 11කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5කට දැවී ගිය පසු පිටියට පිවිසි සදීර සමරවික්‍රම, විශාර ප්‍රනාන්දු හා 2 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 19ක දී ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී සදීර සමරවික්‍රම පන්දු 10කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 17ක් සහ විශාර ප්‍රනාන්දු පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව මල්ෂ තරුපති පන්දු 6කට මුහුණ දෙමින් හයේ සහ හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉසුරු උදාන ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර නුවන් තුෂාර එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි CCC ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය හඹා ගියා. එහි දී නිශෘන් මදුශ්ක පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගැනීමට ආරම්භක පිතිකරු නිහාන් මදුශ්ක සමත් වෙනවා.

ඔහුට අමතර ව චතුරංග ද සිල්වා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

දවාගත් කඩුලු ද්විත්වයේ ම හිමිකාරීත්වය මල්ෂ තරුපති සතු වූවා. ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදින්ට ලබා දුන් ලකුණු 16ක් පමණයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Moors SC – කඩුලු 5ක් දැවී 86 (8.0) විශාර ප්‍රනාන්දු 16, සදීර සමරවික්‍රම 17, රමේෂ් මෙන්ඩිස් නොදැවී 28, ඉසුරු උදාන 2/20

 

CCC – කඩුලු 2ක් දැවී 89 (6.4) නිශාන් මදුශ්ක 47, චතුරංග ද සිල්වා නොදැවී 30, මල්ෂ තරුපති 2/16

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Panadura SC සහ CCC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 15 වැනිදා රාත්‍රී 7.30ට විදුලි ආලෝක මධ්‍යයේ කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<