වනිඳුලා Major Clubs T20 ශූරතාව දිනා ගනී

Major Clubs T20 Tournament 2025

17

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් CCC ක්‍රීඩකයෝ 2025 වසරේ ශූරතාව දිනා ගත්තා.  

කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝක මධ්‍යයේ (15) පැවැති අවසන් මහා තරගයේ දී පරාජිත කණ්ඩායම බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි. එලෙසින් නිමා වූ එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Panadura SC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ප්‍රතිවාදී CCC ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 14ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය අභිබවා ගියා.   

අවසන් මහා තරගය (N), කොළඹ CCC, ජුනි 15, 2025, Major Clubs T20 Tournament 

  • කාසියේ වාසිය – CCC 

Panadura SC කණ්ඩායම 

දුශාන් හේමන්ත (නායක), එරංග ජයකොඩිගේ, විශේන් හැළඹගේ, නිසල තාරක, සසිඳු මල්ශාන් (කඩුලු රකින්නා), නිමේෂ් විමුක්ති, ගිමඳු මැල්කම්, විශ්ව ලහිරු, සෙනිත හැළඹගේ, සහන් මිහිරාන් සහ අසංක මනෝජ්. 

 

CCC කණ්ඩායම 

වනිඳු හසරංග (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, දුල්නිත් සිගේරා, ඉනුක කරන්නාගොඩ, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, නුවන් තුෂාර, පවන් සංදේශ්, නිශාන් පීරිස් සහ විශ්ව ප්‍රනාන්දු. 

කාසියේ වාසිය හිමිකර ගත් CCC කණ්ඩායමේ අදහස වූයේ පළමුවෙන් පන්දු රැකීම සුදුසු බවයි. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී Panadura SC කණ්ඩායමට ආරාධනා කරනවා.  

ඒ අනුව එම ඉනිම ආරම්භ කරන්නේ එරංග ජයකොඩිගේ සහ විශේන් හැළඹගේ විසිනුයි. ඔවුන් දෙදෙනාගේ පළමු ඉනිමේ ලකුණු සබඳතාව 11කට සීමා වුනා. එරංග ජයකොඩි ලකුණු කිසිඳු ලකුණක් ලබා නොගනිමින් පිටියෙන් ඉවත් වීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිදී ගියා.  

අනතුරු ව පිටියට පිවිසි නිසල තාරක (0), සසිඳු මල්ශාන් (3) සහ නිමේෂ් විමුක්ති (0) අඩු ලකුණුවලට සීමා වෙද්දී අනෙක් අන්තයේ සිටි විශේන් හැළඹගේ හුදකලා චරිතයක් බවට පත් වූවා.  

ඒ වෙද්දී පානදුර ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 32ක් ලෙසයි. අනතුරු ව 5 වැනි කඩුල්ල ලෙසින් විශේන් හැළඹගේ සහ නායක දුශාන් හේමන්ත එක් ව පන්දු 32ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් Panadura SC කණ්ඩායමට ජීවය එක් කරනවා.  

විශේන් හැළඹගේ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. විශේන් හැළඹගේ ඊට පෙර NCC කණ්ඩායම හා සමඟ පැවැති අවසන් පූර්ව තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරන ලද අතර එම අර්ධ ශතකය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද සිව් වැනි අර්ධ ශතකය බවට ද පත් වූවා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී දුශාන් හේමන්ත ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා. අනතුරු ව ගිමඳු මැල්කම් පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 14ක් දැවී සිටිය දී දැවී යන අතර ඒ වෙද්දී  Panadura SC ඉනිම කියැවුනේ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලෙසයි.  

අනතුරු ව ගෙවී ගිය ඉනිමේ අවසන් පන්දු 29 දී 8 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට විශ්ව ලහිරු සහ සෙනිත හැළඹගේ සමත් වුණා. ඒ අතුරින් විශ්ව ලහිරු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20කට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට විශේන් හැළඹගේ ගේ ඥාති සහෝදර සෙනිත හැළඹගේ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 7කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චතුරංග ද සිල්වා කඩුලු ද්විත්වයක් ද, ඉනුක කරන්නාගොඩ, වනිඳු හසරංග සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු CCC කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි නිශාන් මදුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ විසිනුයි. නමුත් ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව එක් පන්දුවටකට පමණක් සීමා වුණා. ඒ අනුව මෙවර තරගාවලියේ 2 වැනියට වැඩිම ලකුණු ලබා සිටි නිශාන් මදුශ්කට සිදු වෙන්නේ ලකුණු නොලබා ම පිටියෙන් ඉවත්ව යෑමටයි.  

ඒ අනතුරත් සමඟ 2 වැනි කඩුල්ලට පිවිසි දුල්නිත් සිගේරා ඉතා සංයමයකින් පිතිකරණයේ යෙදෙමින් අනෙක් ආරම්භක පිතිකරු වූ ලසිත් කෲස්පුල්ලේ හා එක්ව එම කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් එක් කරනවා. ඔවුන් දෙදෙනා ඒ සඳහා වැය කරන්නේ පන්දු 67ක් පමණයි.  

දුල්නිත් සිගේරා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  අනතුරු ව 3 වැනි කඩුල්ල ලෙසින් ලසිත් කෲස්පුල්ලේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටිය දී දැවී යනවා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ 2 වැනි අර්ධ ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් පසුව ඉනිමට තවත් ලකුණු 24ක් එක් වෙද්දී ඉනුක කරන්නාගොඩ ද ලකුණු 7කට තම ඉනිම හැර යන අතර ඒ අනුව CCC ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 147ක් ලෙසයි. ඉන් අනතුරු ව CCC කණ්ඩායමේ ජයග්‍රාහී ගමන හසරංග සහෝදරයන් වෙත පැවැරුණා. 

ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 15ක දී නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා. තරගය ඒ ලෙසින් අවසන් වෙද්දී නායක වනිඳු හසරංග පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ චතුරංග ද සිල්වා පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ සෙනිත හැළඹගේ, නිමේෂ් විමුක්ති, නිසල තාරක සහ දුශාන් හේමන්ත එක් ව එක් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Panadura SC – කඩුලු 8ක් දැවී 172 (20.0) විශේන් හැළඹගේ 73, විශ්ව ලහිරු 20, සෙනිත හැළඹගේ නොදැවී 36, විශ්ව ප්‍රනාන්දු 2/07, චතුරංග ද සිල්වා 2/26

 

CCC – කඩුලු 4ක් දැවී 174 (17.4) ලසිත් කෲස්පුල්ලේ 78, දුල්නිත් සිගේරා 38, වනිඳු හසරංග නොදැවී 25, චතුරංග ද සිල්වා නොදැවී 20, සෙනිත හැළඹගේ 1/24

 

CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

  • තරගයේ වීරයා – ලසිත් කෲස්පුල්ලේ (CCC)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සම්පත් නිශ්ශංක (NCC)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – විශේන් හැළඹගේ (Panadura SC)
  • තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – දුශාන් හේමන්ත  (Panadura SC)
  • තරගාවලියේ වීරයා – විශේන් හැළඹගේ (Panadura SC)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<