Major Clubs T20 පිටිය ගිනි තැබූ අය

Major Clubs T20 Tournament 2025

97
Major Clubs T20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වූයේ CCC කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමින්. එහි අනුශූරතාවයට හිමිකම් කීවේ Panadura SC කණ්ඩායමයි.

එලෙසින් නිමා වූ එම තරගාවලියේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රීඩකයා බවට පත් වීමට Panadura කණ්ඩායමේ විශේන් හැළඹගේ සමත් වෙනවා. ඔහු තරගාවලියේ දක්ෂතම පිතිකරු මෙන් ම තරගාවලියේ වීරයා බවට ද පත් වෙනවා. ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ විස්සයි විස්සයි තරග 16කට පමණක් වීමත් විශේෂත්වයක්.

ඊට අමතර ව තවමත් කෝඩුකාර තරග ප්‍රමාණයක රැඳී සිටින සම්පත් නිස්සංක තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වූවා. ඔහු මෙතෙක් ක්‍රිඩා කර ඇත්තේ පළමු පෙළ විස්සයි විස්ස තරග 8ක් පමණයි.

ඔවුන් දෙදෙනාට අමතර ව අවසන් මහා තරගයේ වීරයා ලෙසින් පළමු පෙළ විස්සයි විස්ස තරග 62කට මුහුණ දී ඇති  ලසිත් කෲස්පුල්ලේ ද සහ තරගාවලියේ තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා ලෙසින් පළමු පෙළ විස්සයි විස්ස තරග 75කට ක්‍රීඩා කර ඇති දුශාන් හේමන්ත ද සම්මාන දිනා ගත්තා.

  • අවසන් මහා තරගයේ වීරයා – ලසිත් කෲස්පුල්ලේ(CCC)

අවසන් මහා තරගයේ හඹා යන ඉනිමේ දී පළමු කඩුල්ල අහිමි වීමෙන් පසුව වඩාත් වගකීම් සහිත ඉනිමක නිරත වෙන ලසිත් කෲස්පුල්ලේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 78ක් ලබා ගන්නවා. එය එම කණ්ඩායමේ ජයග්‍රහණයේ හේතුව ද වූවා.

26 වැනි වියේ පසුවෙන මේ දකුණත් පිතිකරුවා Panadura සමඟ පැවැති එම තරගයේ දී 2 වැනි කඩුල්ලට දුල්නිත් සිගේරා සමඟ එක් වෙමින් තම කණ්ඩායමට පන්දු 67ක දී ලකුණු 106ක සබඳතාවක් ද එක් කරනවා. ඊට අමතර ව ඔවුන් දෙදෙනා පළමු වටයේ දී Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ද 2 වැනි කඩුල්ලට ලකුණු 110ක් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඔහු මේ දක්ෂතාවත් සමඟින් මෙම තරගාවලියේ දී ඉනිම 7ක දී ලකුණු 215ක් ලබා ගන්නවා. එය තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

ඔහු අවසන් තරගයේ ලබා ගත් මෙම අර්ධ ශතකයට අමතර ව පළමු වටයේ දී Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 77ක් ද ලබා ගන්නවා.

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සම්පත් නිශ්ශංක (NCC)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ 23 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන සම්පත් නිශ්ශංක. ඔහු නිමා වූ තරගාවලියේ දී කඩුලු 12ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.

තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට දවා ගත් කඩුලු 5ක් වන අතර එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාව වන අතර මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

ඔහුගේ මෙම දක්ෂතාවට අමතර ව Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා

  Player Team M Overs M Runs W Bset Ave 4
1 දුශාන් හේමන්ත Panadura 9 30.0 0 215 14 3/26 15.35 0
2 සෙනිත හැළඹගේ Panadura 9 25.4 0 185 12 3/32 15.41 0
3 සම්පත් නිශ්ශංක NCC 5 20.0 1 148 12 5/19 12.33 1
4 එශාන් මාලිංග Bloomfield 4 15.4 0 103 10 4/15 10.30 1
5 චාරුක ප්‍රමෝද් Police 6 21.0 1 170 10 3/35 17.00 0

සම්පත් නිශ්ශංක තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙද්දී අවසන් මහා තරගය ද නියෝජනය කළ Panadura කණ්ඩායමේ නායක දුශාන් හේමන්ත සහ සෙනිත හැළඹගේ මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන ද්විත්වය හිමිකර ගන්නවා.

එහි දී පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත තරග 9ක දී කඩුලු 14ක් ලබා ගන්නා අතර 20 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන සෙනිත හැළඹගේ කඩුලු 12ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

සෙනිත හැළඹගේ මෙවර පළමු වරට පළමු පෙළ විස්සයි විස්ස තරග සඳහා එක් වූ අතර පිතිකරුවෙක් ලෙසින් ඉනිම 9ක දී ලකුණු 51ක් ද ලබා ගැනීමට සමත් වෙනවා.

මෙම ලැයිස්තුවේ Bloomfield කණ්ඩායම නියෝජනය කළ දකුණතින් මඳ වේග පන්දු යවන ඒශාන් මාලිංග කඩුලු 10ක් ලබා ගන්නා ලද අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරන්නේ මෙවර තරගාවලියේදීයි. ඒ Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.

ඊට අමතර මෙම ලැයිස්තුව හා Police කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන චාරුක ප්‍රමෝද් එක් වෙන අතර ඔහුට අමතර ව ඉසුරු උදාන ද කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ සම්මාන 2කින් පිදුම් ලැබූ විශේන් හැළඹගේ තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන යෞවනයෙක්. නිමා වූ වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ විශේන් හැළඹගේ මෙවර තරගාවලියේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 356ක්. ඊට අමතර ව ඔහු පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් කඩුලු 9ක් ද ලබා ගන්නවා.

පිතිකරුවෙක් ලෙසින් සහභාගී වූ ඔහුගේ ඉනිම් අතර Panadura කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ගෙන ආ Colts කණ්ඩායම සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් ද සහ අවසන් පූර්ව තරගයේ දී NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතා ද මේ අතර තිබෙනවා.

ඉන් නතර නොවන ඔහු CCC කණ්ඩායම සමඟින් පැවැති අවසන් මහා තරගයේ දී ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 73ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව ඔහු පළමු වටයේ දී Baduraliya SC කණ්ඩායමට එරෙහි ව පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලබා ගත් ලකුණු 51ක් ද සහ NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 83ක් ද තිබෙනවා.

විශේන් හැළඹගේ ගේ දක්ෂතා අතර තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා මෙන් ම සහ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද ඒ ඒ දක්ෂතා ලැයිස්තුවල පළමු ස්ථානවලට පත් වෙනවා. ඔහු විසින් එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 40ක් වන අතර හයේ පහර සංඛ්‍යාව 19ක්.

එමෙන් ම තරගාවලියේ එක් ඉනිමක දී හයේ සහ හතරේ පහරවලින් වැඩිම ලකුණු ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා බවට ද පත් වෙන්නේ විශේන් හැළඹගේ. ඔහු NCC කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් වාර්තා කරන අතර එහි එකතුව වූ ලකුණු 66 මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වුනා.

ඊට අමතර ඔහු තරගාවලියේ  වැඩිම අර්ධ ශතකලාභියා බවට ද පත් වුනා. ඒ වෙනුවෙන් ඔහු අර්ධ ශතක 4ක් ලබා ගන්නවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා

  Player Team M NO Runs HS Ave Balls 50 4s 6s
1 විශේන් හැළඹගේ Panadura 9 0 356 83 39.55 198 4 40 19
2 ලසිත් කෲස්පුල්ලේ CCC 7 0 215 78 30.71 120 2 19 12
3 නිශාන් මදුශ්ක CCC 7 0 204 79 29.14 128 2 11 12
4 ලහිරු මදුශංක Bloomfield 6 2 165 54* 41.25 115 1 12 9
5 සංගීත් කුරේ Colts 6 1 163 93* 40.75 120 1 13 5

තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ Colts කණ්ඩායම නියෝජනය කළ සංගීත් කුරේ. 30 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරුවෙක් වන ඔහු Police කණ්ඩායමට එරෙහි ව පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා ගන්නවා. එය ඔහුගේ තරග 40ක් වන පළමු පෙළ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

තරගාවලියේ ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ BRC කණ්ඩායම නියෝජනය කළ 24 වැනි වියේ පසුවෙන මොවින් සුබසිංහ. ඔහු Police කණ්ඩායමට එරෙහි ව හයේ පහර 7ක් එල්ල කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන අතර එම ඉනිමේ දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් තවත් හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු 72ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

  • තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – දුශාන් හේමන්ත  (Panadura SC)

Panadura කණ්ඩායම නියෝජනය කරන 31 හැවිරිදි වියේ පසුවෙන දුශාන් හේමන්ත තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් අභිශේක ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කරමින් එක්දින තරග 5කට ද එක් ව ඇති දුශාන් හේමන්ත මෙවර තරගාවලියේ දී තරග 9ක ඉනිම් 9ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 152ක් ද සහ කඩුලු 14ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

දුශාන් හේමන්තගේ මෙම දක්ෂතා අතරට CCC කණ්ඩායම හා පැවැති පළමු වටයේ තරගයේ දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 59ක් ද තිබෙනවා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ත තරගවල හොඳම ඉනිම බවට ද පත් වුනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<