Joe Root තවත් කඩඉමක් පනී

Most runs in ICC World Test Championship

190
Joe Root 6000 Runs in WTC

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි ඉතිහාසයේ ලකුණු 6000ක් ඉක් ම වූ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්තයේ Joe Root සමත් වුණා. ඒ මේ දිනවල පැවැත්වෙන එංගලන්තය සහ ඉන්දියාව අතර 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනයේදීයි.

ඒ අනුව ඔහු මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලි තරග ඉතිහාසයේ තරග 69කට සහභාගී වෙමින් ලකුණු 6080ක් ලබා ගනිමින් එහි පළමු වැන්නා බවට ද පත් ව සිටිනවා. ඔහු මෙම වාර්තාවට පිවිසෙන්නෙ මීට සති සතියකට පමණ පෙර ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනියා බවට ද පත් වීමෙන් අනතුරුවයි.

34 වැනි වියේ පසුවෙන මේ දකුණත් පිතිකරුවා මෙම තරගයට එක් වෙන විට ලකුණු 6000 කඩඉමට තවත් ලකුණු 54ක් මෙපිටිනුයි සිටියේ. තරගයේ 2 වැනි දිනයේ දී Joe Root තම පළමු ඉනිමට පිටියට පිවිසියත් ඔහුගේ එම ඉනිම ලකුණු 29කට සීමා වෙනවා. ඉන් අනතුරු ව ඔහුට නැවත එම අවස්ථාව හිමි වෙන්නේ තරගයේ 3 වැනි දිනයේ පෙරවරුවේදී ඔහුගේ 2 වැනි ඉනිමේදීයි.

තරගය එදින දහවල් විවේකයට නතර කරන විට Joe Root ක්‍රීඩාගාරය සඳහා පිය නගන්නේ මේ කඩඉමට පිවිසීමට තවත් ලකුණු 2ක් පිටුපස සිටිමිනුයි. අනතුරු ව දිවා විවේකයෙන් පසුව තමන් මුහුණ දුන් 6 වැනි පන්දුවේ දී ඔහු මෙම කඩඉමට පිවිසියා.

ඉන් නොනැවතුණ ඔහු එම ඉනිම අවසන් කරන්නේ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 105ක් ලබා ගනිමිනුයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

  Player Team M In NO Runs HS Ave 100s 50s
1 Joe Root එංගලන්තය 69 126 11 6080 262 52.86 21 22
2 Steven Smith ඔස්ට්‍රේලියාව 55 95 9 4278 211 49.74 13 19
3 Marnus Labuschagne ඔස්ට්‍රේලියාව 53 96 8 4225 215 48.01 11 22
4 Ben Stokes එංගලන්තය 57 103 7 3616 176 37.66 8 17
5 Travis Head ඔස්ට්‍රේලියාව 52 87 5 3300 175 40.24 8 15

Joe Root මෙම කඩඉමට පිවිසීමට පෙර ලෝක ටෙස්ට් ශූරතාවලි තරග ඉතිහාසයේ ලකුණු 5000 සීමා ව පසු කළ පළමු ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසයට එක් ව සිටියා. මෙම ලැයිස්තුවේ ඔහුට පිටුපසින් සිටින ඔස්ට්‍රේලියාවේ Steven Smith ලබා ඇති ලකුණු සංඛ්‍යාව 4278ක්.

එමෙන් ම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියන් ඉතිහාසයේ වැඩි ම ශතකලාභියා ලෙසින් ද මේ වන විට ද ඉහළින් ම සිටින්නේ Joe Root. ඔහු ලබා ඇති ශතක ප්‍රමාණය 21ක්.

2019 – 2021

ලෝක ටෙස්ට් ශූරතාවලි තරග ඉතිහාසයේ මංගල තරගාවලිය ආරම්භ වෙන්නේ 2019 වසරේ අගෝස්තු 01 වැනිදා Birmingham හි පැවැති එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනුයි. තරගාවලිය නිමා වෙන්නේ 2021 වසරේ ජුනි 18 වැනිදා Gros Islet හි දී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන්.

එම තරගාවලියට එක් වූ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය Joe Root වෙත හිමි වූවා. පළමු තරගයේ දී ම අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරන Joe Root තරගාවලිය අවසන් කරන විට තරග 20ක ඉනිම් 37ක දී ලකුණු 1660ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි සාමාන්‍ය 47.82ක් ලෙසින් පවත්වා ගන්නා ඔහු ඊට ද්විත්ව ශතක ද්විත්වයක්, ශතකයක් සහ අර්ධ ශතක 8ක් ද එම ලකුණු අතරට එක් කරනවා.

මෙම තරගාවලියේ ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 321කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමගින් ලබා ගත් ලකුණු 228යි.

Joe Root

Joe Root ගේ ද්විත්ව ශතකයට මැතිව්ස්ගෙන් සුබ පැතුම්. (2021.01.16)

මෙම ද්විත්ව ශතයෙන් අනතුරු ව දෙරට අතර පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී ද Joe Root පන්දු 309කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 186ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම තරගය ද පැවැතියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදීයි.

එම ඉනිම් 2ට අමතර ව Joe Root එම තරග සමයේ දී ඉන්දියාවට එරෙහි ව Chennai හි දී පන්දු 377කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 218ක් ද ලබා ගන්නවා.

ඔහුගේ එම දක්ෂතා එවර තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ලැයිස්තු ගත වෙන්නේ 2 වැනි ස්ථානයේයි. ඔහුට ඉදිරියෙන් මෙම ලැයිස්තුව හා එක් ව සිටියේ ඔස්ට්‍රේලියාවේ Marnus Labuschagne. ඔහු තරග 13ක ඉනිම් 23ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1675ක් ලබා සිටියා.

2021 – 2023

2021 වසරේ අගෝස්තු 04 වැනිදා එංගලන්තය සහ ඉන්දියාව අතර Nottingham හී දී ආරම්භ වෙන 2 වැනි ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් වෙන්නේ 2023 වසරේ ජුනි මස 7 වැනිදා ආරම්භ වූ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගයෙනුයි.

එම තරගාවලියේ දී එංගලන්ත සහභාගී වූ පළමු තරගයේ දී ම Joe Root පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් ද සහ 2 වැනි ඉනිමේ දී ශතකයක් ද එක් කරමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.

එම ආරම්භයත් සමඟින් Joe Root එවර තරගාවලිය නිමා කරන්නේ, තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පළමු ස්ථානයට පත් වෙමින්. ඔහු එවර තරගාවලියේ දී තරග 22ක ඉනිම් 40ක දී ලකුණු 1915ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 53.19ක් ලෙසින් රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

මෙම ලකුණු අතර ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ ඉන්දියාවට එරෙහි ව Lord’s ක්‍රීඩාංගණයේ දී පන්දු 321කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී වාර්තා කරන ලද ලකුණු 180යි.

Joe Root, Lord'

Joe Root, Lord’s ක්‍රීඩාංගණයේ දී ශතකය ලැබීමෙන් අනතුරුව. (2021.08.21)

ඊට අමතර ව ඔහු නවසීලන්තයට එරෙහි ව (176 සහ නොදැවී 115), බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව (153 සහ 109), ඉන්දියාවට එරෙහි ව (නොදැවී 142, 121 සහ 109 ) ලෙසින් තවත් ශතක 7ක් ද එකතුව ශතක 8ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ශතකලාභියා ලෙසින් ද අභිශේක ලබනවා. එමෙන් ම ඔහුගේ ඉනිම් අතරට අර්ධ ශතක ඉනිම් 6ක් ද එක් වෙනවා.

එමෙන් ම එවර තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ පිතිකරු ලෙසින් ද ඔහුගේ නම ලැයිස්තු ගත වෙනවා. ඔහු ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව 217ක්.

2023 – 2025

2023 වසරේ ජුනි මස 16 වැනිදා Birmingham හි දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් ආරම්භ වූ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 3 වැනි අදියර නිමා වෙන්නේ පසුගිය ජුනි මාසයේ Lord’s ක්‍රීඩාංගණයේ දී පැවැති ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙනුයි.

Joe Root එම තරගාවලියේ දී ද සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි ව ශතකයක් ලබා ගනිමිනුයි. එසේ ගිය ඔහු තරගාවලිය නිමා කරන්නේ එවර තරගාවලියේ ද වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින්. ඔහු එහි දී තරග 22ක ඉනිම් 40ක දී ලකුණු 1968ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 54.66ක් ලෙසින් රඳවා ගන්නා ඔහු එම ලකුණු අතරට ශතක 7ක් සහ අර්ධ ශතක 7ක් එක් කරනවා.

මෙම ලකුණු අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ පාකිස්තානයට එරෙහි ව Multan හි දී පන්දු 375කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලබා ගත් ලකුණු 262යි.

Joe Root ,Harry Brook.

වාර්තා ගත ලකුණු සබඳතාවක් ගොඩ නැගූ Joe Root සහ Harry Brook. (2024.10.11)

ඔහු මෙම ඉනිමේ දී Harry Brook හා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 454ක සබඳතාවක් ගොඩ නගනවා. එය ලෝක ටෙස්ට් ඉතිහාසයේ සිව් වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන අතර එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවය බවට ද පත් වුණා.

මෙම තරග සමයේ දී Joe Root ශ්‍රී ලංකාවට එරෙහි ව (143 සහ 103), ඉන්දියාවට එරෙහි ව (නොදැවී 122), බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව (122), ඔස්ට්‍රේලියාවට එරෙහි ව (නොදැවී 118) සහ නවසීලන්තයට එරෙහි ව (106) ලෙසින් ද ශතක වාර්තා කරනවා.

ඒ අනුව ඔහු ලබා ගත් ශතක 7 එවර තරගාවලියේ පිතිකරුවෙක් වාර්තා කරන ලද වැඩිම ශතක සංඛ්‍යාව ලෙසින් ද ඉතිහාසයට එක් වුණා.

2025 – 2027

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ සිව් වැනි අදියර ආරම්භ වී මේ ගත වෙන්නේ තෙවැනි මාසයයි. 2025 ජුනි 17 වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ මෙතෙක් නිමා වී ඇත්තේ තරග 9ක් පමණක් වන අතර එංගලන්තය සහ ඉන්දියාව අතර The Oval ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය නිමා වීමට තවත් පැය කිහිපයක් ගත වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ දක්වා පැවැති තරගවල දී වැඩිම ලකුණුලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 2 වැනි අසුන වෙන්කර ගැනීමට Joe Root සමත් ව සිටිනවා.

තම 5 වැනි තරගය ක්‍රීඩා කරන Joe Root මේ දක්වා ඉනිම 9ක දී පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ලකුණු 537ක් ලබා ගෙන සිටින්නේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 75.40ක් ලෙස ද තබා ගනිමිනුයි.

මෙම ලකුණු අතර ඉන්දියාවට එරෙහි ව ලකුණු 104ක්, 105ක් සහ 150ක් ලෙසින් ශතක ත්‍රිත්වයක් ද තවත් අර්ධ ශතක ඉනිමක් ද ක්‍රීඩා කිරීමට ඔහු සමත් ව සිටිනවා.  මෙම ලැයිස්තුවේ දැනට පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවේ 25 වැනි වියේ පසුවෙන Shubman Gill. ඔහු මේ වන විට එංගලන්තයට එරෙහි ව ලබා ගත් ද්විත්ව ශතකයක් (269) සහ ඔවුන්ට ම එරෙහි ව ලබා ගත් ලකුණු 103ක්, 147ක් සහ 161ක් සමඟ වන ශතක 4ක් සමඟින් ලකුණු 754ක් ලබා සිටිනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<