Siraj වැරදි නිවැරදි කරයි; ඉන්දියාවට තියුණු ජයක්

India Tour Of England 2025

133
India Tour Of England 2025

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වුණු තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-2ක් ලෙස අද (04) නිමාවට පත් වුනා.

ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් ක්‍රිකට් තරගාවලියක් ලෙස හඳුන්වා දිය හැකි මෙම තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය අද ක්‍රියාත්මක වුනා.

අද දිනය ආරම්භ වන විට එංගලන්තයට තරගයේ ජය සඳහා ලකුණු 35ක් පමණක් අවශ්‍ය වී තිබූ අතර, ඉන්දියාවට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වී තිබුණේ කඩුලු හතරක් පමණයි.

ඉන්දීය පළමු ඉනිම

තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ එංගලන්තය නායකයා විසින් ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, එහි දී ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 224ක් පමණයි. මෙහි දී ඉන්දියාව වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ Karun Nair ලකුණු 57ක් ලබා ගන්නා අතරේ, එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Gus Atkinson කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

එංගලන්ත පළමු ඉනිම

ඉන්දීය පළමු ඉනිමට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය වූ Ben Duckett සහ Zak Crawley පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 92ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Zak Crawley ලකුණු 64කින් ඉනිමට දායකත්වය ලබා දුන් අතර, පසුව පිටියට පිවිසුණු Harry Brook ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ සමඟ එංගලන්ත සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 247ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Prasidh Krishna සහ Mohammed Siraj කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඉන්දීය දෙවන ඉනිම

ඉන්දියාව එංගලන්තයට වඩා ලකුණු 23ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Yashasvi Jaiswal ලකුණු 118ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව ඉන්දීය ඉනිම වෙනුවෙන් සැඳෑ පිතිකරු ලෙස පිටියට පිවිසි Akash Deep ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වූ අතර, Washington Sundar වේගවත් 53ක් ද, තරගාවලිය පුරා ඉන්දීය මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම බාර ගත් Ravindra Jadeja ලකුණු 53ක් ද වාර්තා කිරීමට සමත් වුනා. මේ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 396ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එංගලන්තය වෙනුවෙන් Josh Tongue කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

එංගලන්තය දෙවැනි ඉනිම

මේ අනුව එංගලන්තයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 374ක ඉලක්කයක් හිමි වුනා. මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්තය වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 106ක් ලබා සිටියේ Ben Duckett විසින් වාර්තා කළ ලකුණු 54ත් සමඟිනුයි.

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Harry Brook සහ Joe Root සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 195ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී ලකුණු 19ක් ලබා සිටි Harry Brook විසින් ලබා දුන් උඩ පන්දුවක් Mohammed Siraj විසින් රැක ගැනීමට සමත් වූ නමුත්, ඔහු ඒත් සමඟම හයේ සීමාව ඉක්මවා යාම නිසා Brookට ඉනිම රැක ගැනීමට හැකි වුනා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස Brook ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූ අතර, Joe Root සිය 39 වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ සමඟ ඔවුන් දෙදෙනා විසින් ලකුණු 195ක දැවැන්ත සබඳතාවක් ද නිර්මාණය කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් එංගලන්ත දෙවැනි ඉනිමේ ලකුණු 337ක් සටහන් වන විට ශතක ලාභීන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දියාව සමත් වී තිබූ අතර, ඊයේ (03) දිනයට තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 339ක් ලබා සිටියා.

මේ අනුව අද දිනයේ දී එංගලන්තයට තරගය ජය ගැනීමට ලකුණු 35ක් ලබා ගැනීමට ඉතිරි වී තිබූ අතර, දිනය ආරම්භ වීමත් සමඟම Jamie Overton විසින් Prasidh Krishnaට පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරමින් ඉලක්කයට තවත් සමීප වීමට සමත් වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ Mohammed Siraj විසින් එංගලන්තය ඉනිමේ හත් වැනි සහ අට වැනි කඩුලු දවා ගනිමින් තරගය නැවතත් ඉන්දියාව දෙසට හැරවීමට සමත් වුනා.

මීට පසුව ක්‍රියාත්මක වූ Prasidh Krishna එංගලන්ත ඉනිමේ 09 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, ඒ වන විට එංගලන්තයට ජය සඳහා තවත් ලකුණු 17ක් අවශ්‍ය වී තිබුණා.

මේ මොහොතේ ආබාධයකට ලක් වී සිටි Chris Woakes සිය ආබාධයට ලක් වූ අත ශරීරයේ රඳවා ගනිමින් එක් අතකින් පමණක් සිය පිත්ත ග්‍රහණය කර ගනිමින් පිටියට පිවිසුණා.

කෙසේ වෙතත් අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදෙමින් සිටි Gus Atkinson විසින් Woakesහට පිතිකරණයේ යෙදීමට අවස්ථාව සලසා නොදීමට වග බලා ගනිමින් ක්‍රීඩාවේ නියැලෙමින් තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහරක් ද සමඟයි.

කෙසේ වෙතත් මේ මොහොතේ නැවතත් ක්‍රියාත්මක වූ Mohammed Sirajගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Gus ලකුණු 17කට දැවී ගිය අතර, ඉන්දියාවට තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් උරුම වුනා.

ඉන්දියාව වෙනුවෙන් Siraj කඩුලු 5ක් දවා ගන්නා අතරේ, Prasidh කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තරගාවලිය සමයි, නිමයි

  • පළමු ටෙස්ට් තරගය – එංගලන්තයට කඩුලු 5ක ජයක්.
  • දෙවැනි ටෙස්ට් තරගය – ඉන්දියාවට ලකුණු 336ක ජයක්.
  • තෙවැනි ටෙස්ට් තරගය – එංගලන්තයට ලකුණු 22ක ජයක්.
  • සිව්වැනි ටෙස්ට් තරගය – ජය පැරදුමෙන් තොරව නිමවුනා.
  • පස්වැනි ටෙස්ට් තරගය – ඉන්දියාවට ලකුණු 06ක ජයක්.

මේ අනුව දෙරට අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් නිමාවට පත් වුනා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<