කොදෙව් 40s ප්‍රවීනයෝ ශ්‍රී ලංකාව පරාජය කරයි

IMC Over 40s T20 World Cup 2025

7
IMC Over 40s T20 World Cup 2025

International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීණයන්ගේ කණඩායම සමඟින් කටාර් හී Southend Club ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වූවා.

මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීණයන්ගේ කණඩායම කඩුලු 7ක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රජීව් නිර්මලසිම්හම්. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

ඊට අමතර ව සුනෙත් සම්පත් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ද සහ හිරාන් කුලරත්න පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ ලැබුණේ නැහැ. පන්දු යැවීමේ දී Antonnel Atwell කඩුලු 3ක් ද, Randy Ramanan කඩුලු 2ක් ද සහ Chris Mittelholzer කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණක දී දැවී ගිය ද  2 වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩ නැගීමට Devindra Maharaj (9) සහ නායක Lawrence Farnum සමත් වුණා.

Lawrence Farnum පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී ගියා.

බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම් ඉනිමේ කඩුලු 6ක් ලකුණු 84කට දැවී ගොස් තිබිය දී 7 වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය පේනතෙක් මානෙකට රැගෙන යෑමට Antonnel Atwell  සහ Vishan Lall සමත් වුණා.

එහි දී Vishan Lall පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට Antonnel Atwell පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සිනෙත් විතානගේ සහ ලංකා රොද්‍රිගෝ කඩුලු ද්විත්වය බැගින් ද උදය කුමාර, රුවන් ප්‍රේමතිලක සහ හංස විජයසුන්දර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 136 (20.0) රජීව් නිර්මලසිම්හම් 55, සුනෙත් සම්පත් 24, හිරාන් කුලරත්න 23, Antonnel Atwell 3/14, Randy Ramanan 2/24

 

බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 137 (19.4) Lawrence Farnum 32, නොදැවී Antonnel Atwell 30, Vishan Lall 23, ලංකා රොද්‍රිගෝ 2/27, සිනෙත් විතානගේ 2/23

බටහිර ඉන්දීය කොදෙව් 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<