Isabella සහ Natalie ශතක ලබා ගනී

ICC Women's World Cup

147
ICC Women's World Cup Warm-up Matches

13 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග (25) ආරම්භ වූවා. එහි දී ශ්‍රී ලංකාවේ දී තරග ද්විත්වයක් ද සහ ඉන්දියාවේ තරග ද්විත්වයක් ද ලෙසින් පැවැත්වුණා.

මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වූව ද ඉන්දියාවේ පැවැති තරගවල දී නවසීලන්ත කණ්ඩායමේ Isabella Gaze සහ එංගලන්ත කණ්ඩායමේ Natalie Ruth Sciver-Brunt හෙවත් Nat Sciver-Brunt ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය (දිවා/රාත්‍රී) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 7.3ක් පමණයි.  වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ දී නතර කරන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 33ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුල්ලක් දැවී 33 (7.3) හසිනි පෙරේරා නොදැවී 21

තරගයේ විසඳුමක් නෑ.

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය (දිවා/රාත්‍රී) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 9ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ දී නතර කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලබා සිටියා.

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබුණ බැවින් තරගය නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම – කඩුලු 3ක් දැවී 45 (9.0) Tazmin Brits නොදැවී 19, Marizanne Kapp 21, Marufa Akter 2/08

තරගයේ විසඳුමක් නෑ.

එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය (දිවා/රාත්‍රී) ඉන්දියාවේ Bengaluru ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 340ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් නායිකා Nat Sciver-Brunt පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 120ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූවා. ඊට අමතර ව Emma Lamb පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 173ක සබඳතාවක් ද ගොඩ නගනවා.

කඩුලු ලබා ගැනීමේ දී Kranti Goud ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි. එම වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Jemimah Rodrigues. ඇය පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී Uma Chetry පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Uma Chetry සහ Sophie Ecclestone කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 340 (50.0) Amy Jones 39, Heather Knight 37, Nat Sciver-Brunt 120, Emma Lamb 84, Kranti Goud 3/31
  • ඉන්දියා කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 187 (34.0) Uma Chetry 45, Jemimah Rodrigues 66, Richa Ghosh 21, Linsey Smith 2/35, Sophie Ecclestone 2/38

එංගලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 153ක ජයක්.

නවසීලන්තය සහ ඉන්දියා A කාන්තා කණ්ඩායම අතර (දිවා) තරගය Bengaluru B ක්‍රීඩාංගණයේ දී.

දිවා තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් Isabella Gaze පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Sayali Satghare ලකුණු 45කට කඩුලු 3ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩිකාවන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 40.0කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලැබෙන ඉලක්කය ලකුණු 224ක්.

එම ඉලක්කය ඔවුන් ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් ඉතිරි ව තිබිය දී සපුරා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Shafali Verma. ඇය පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා.

ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Madiwala Mamatha පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 56ක් ද සහ නායිකා Minnu Mani පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 105ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී Jess Kerr සහ Amelia Kerr කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 273 (50.0) Sophie Devine 34, Brooke Halliday 22, Maddy Green 30, Isabella Gaze නොදැවී 101, Jess Kerr 36, Sayali Satghare 3/45
  • ඉන්දියා A කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 226 (39.3) Shafali Verma 70, Tejal Hasabnis 28, Minnu Mani නොදැවී 39, Madiwala Mamatha නොදැවී 56, Jess Kerr 2/15, Amelia Kerr 2/26

ඉන්දියා A කාන්තා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයක්.

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන් තවත් පුහුණු තරග කිහිපයක් මේ මස 27 වැනිදා පැවැත්විමට නියමිතයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<