ඉනෝකා රණවීරගේ දක්ෂ කඩුලු දඩයම හමුවේ දැවැන්ත ඉනිමක් ගොඩ නැගූ ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉන් නොනැවතී අභියෝගාත්මක පන්දු යැවීමක ද නිරත වෙමින් 13 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.
ඉන්දියාවේ Guwahati හී Barsapara ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (30) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩිකාවන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 211ක් පමණයි. ඒ තවත් පන්දු 8ක් ඉතිරි ව තිබියදීයි.
ඉන්දීය ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ද, 40 වැනි පන්දුවාරයේ දී ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47ක තරගයක් ලෙසයි පැවැතුණේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර.
ඉන්දියා කාන්තා ක්‍රිකට් කණඩායම
Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Amanjot Kaur, Sneh Rana, Kranti Goud, Shree Charani
ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව ආරම්භ වූ ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට උදේශිකා ප්‍රබෝධනී සමත් වෙනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව වඩාත් පරිස්සම් වූ Pratika Rawal සහ Harleen Deol, 2 වැනි කඩුල්ලට පන්දු 96ක දී ලකුණු 67ක සබඳතාවක් ගොඩ නගමින් ඉන්දීය ඉනිමට ජීවය එක් කරනවා. Pratika Rawal පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී ඉනෝකා රණවීරට ගොදුරු වීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
නැවත ඉනෝකා රණවීර තම කඩුලු දඩයම ආරම්භ කරද්දී Harleen Deol සහ නායිකා Harmanpreet Kaur, 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35ක දී ලකුණු 39ක සබඳතාවක් එක් කර තිබුණා. Harleen Deol පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටිය දී ඉනෝකා රණවීරට ගොදුරු වූ අතර ඊට පසුව යැවුණ පන්දුවේදී Jemimah Rodrigues ලකුණු නොලබා ම ද සහ එම පන්දුවාරයේ ම 5 වැනි පන්දුවේ දී Harmanpreet Kaur (21) ද දවා ගනිමින් එක පන්දුවාරයක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට ඇය සමත් වෙනවා.
ඉන් අනතුරු ව චමරි අතපත්තු විසින් යැවුණ පන්දුවාරයේ දී Richa Ghosh තම ඉනිම ලකුණු 2කට සීමා කර ගනිද්දී ඉන්දීය ඉනිම කියැවුණේ කඩුලු 6කට ලකුණු 124ක් ලෙසයි. ඉන්දීය ඉනිම ඒ ලෙසින් අසරණ වෙද්දී පිටියට පිවිසියේ Amanjot Kaur.
අද තරගයේ දී තම පළමු ලෝක කුසලාන තරගයට සහභාගී වූ ඇය තමන් මුහුණ දුන් 45 වැනි පන්දුවේ දී අර්ධ ශතකයක් වාර්තා කරනවා. ඒ වෙද්දී ඇය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් අතහරිනු ලැබූ උඩ පන්දු ත්‍රිත්වයක වාසිය ද ගෙන තිබුණා.
Deepti Sharma ද එකතු කර ගත් ඇය ශ්‍රී ලංකා පන්දු යවන්නියන් වැඩි වැඩියෙන් වෙහෙසට පත් කරමින් 7 වැනි කඩුල්ලට පන්දු 99ක දී ලකුණු 103ක සබඳතාවක් ද ගොඩ නැගුවා. ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් පන්දු 56කට මුහුණ දුන් Amanjot Kaur දැවී යන විට හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.
Deepti Sharma ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටි අතර ඒ වෙද්දී ඇය Sneh Rana හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නගනවා. Sneh Rana ඉන්දීය ඉනිම අවසන් වන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව උදේශිකා ප්‍රබෝධනී ලකුණු 55කට කඩුලු 2ක් ද සහ චමරි අතපත්තු සහ අචිනි කුලසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- කවීෂා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල
- ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්!
හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු විසින්. ඔවුන් දෙදෙනා ගේ සබඳතාව පන්දු 40ක ලකුණු 30කට සීමා වුණා. පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීම හේතුවෙන් හසිනි පෙරේරා තම ඉනිම හැර යන විට පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.
අනතුරු ව චමරි අතපත්තු සමඟ එකතු වූයේ හර්ෂිතා සමරවික්‍රම. ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු සහගත ඉනිමක් ගොඩ නගමින් සිටිය ද අනපේක්ෂිත දැවී යෑමකට චමරි අතපත්තුට සිදු වෙනවා.
ඉදිරියට පැන පන්දුවට පහරදීමට ගොස් කඩුල්ල බිඳ ගත් චමරි අතපත්තු දැවී යන විට ලකුණු 43ක් ලබා සිටියා. පන්දු 47කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ අලංකාර හයේ පහර 3ක් ද එකතු වී තිබුණා.
අනතුරු ව දැවී ගිය හර්ෂිතා සමරවික්‍රම සේ ම විශ්මි ගුණරත්න ද තමන්ට ලබා දුන් කඩුල්ල මුවා කිරීමේ විනිසුරු තීරණයන් අභියෝගයට ලක් කළ ද ඔවුන්ට ඉන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. හර්ෂිතා සමරවික්‍රම දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටි අතර විශ්මි ගුණරත්න ලබා සිටියේ ලකුණු 11ක් පමණයි.
ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව ඊළඟ කඩුල්ලේ දී කවීෂා දිල්හාරිට විනිසුරු තීරණයෙන් වාසියක් ලැබුණ ද ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් එම තීරණය අභියෝගය ලක් කිරීමෙන් ඇයට ද පිටියෙන් ඉවත් වීමට සිදු වූණා. ඒ වෙද්දී ඇය පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව අනුශ්කා සංජීවනී ලකුණු 6කට දැවී යනවා. අනතුරු ව නිලක්ෂිකා සිල්වා සහ සුගන්දිකා කුමාරි එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා.
ඔවුන් දෙදෙනාගේ දිගු ඉනිම ඉන්දීය පන්දු යවන්නියන්ට හිසරදයක් ව තිබිය දී අනවශ්‍ය පහරකට ගිය නිලක්ෂිකා සිල්වා තම කඩුල්ල බිඳ ගන්නවා. ඒ වෙද්දී ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 11ක් එක් වෙද්දී සුගන්දිකා කුමාරි (10) ද, ලකුණු 15ක් එක් වෙද්දී අචිනි කුලසූරිය (17) ද සහ ලකුණු 12ක් එක් වෙද්දී ඉනෝකා රණවීර (3) ද දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී උදේශිකා ප්‍රබෝධනී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටි අතර කඩුලු දවා ගැනීමේ දී Deepti Sharma ලකුණු 54කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර Sneh Rana සහ Shree Charani කඩුල ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 269 (47.0)Pratika Rawal 37, Harleen Deol 48, Harmanpreet Kaur 21, Deepti Sharma 53, Amanjot Kaur 57, Sneh Rana නොදැවී 28, උදේශිකා ප්‍රබෝධනී 2/55, ඉනෝකා රණවීර 4/46
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 211 (45.4)චමරි අතපත්තු 43, හර්ෂිතා සමරවික්‍රම 29, නිලක්ෂිකා සිල්වා 35, Sneh Rana 2/32, Deepti Sharma 3/54, Shree Charani 2/37
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 59ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Deepti Sharma (ඉන්දියාව)
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.