චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා සහ හසිනි පෙරේරා ගේ පිතිකරු දක්ෂතාත් සමඟින් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය අද (20) වාර්තා වුණා.
ඒ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉන්දියාවේ Navi Mumbai හි දී පැවැති තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ එක් ස්ථානයකින් ඉදිරියට පිවිසි අතර ඔවුන් මේ වන විට රැඳී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.
අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර එහි දී සියලුම දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තම ඉනිම අවසන් කරන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 195ක් පමණක් ලබා ගනිමිනුයි.
අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට එක් ව සිටි පියුමි වත්සලා ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට උදේශිකා ප්‍රබෝධනී නම් කර තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවිශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Nigar Sultana (නායිකාව සහ කඩුලු රකින්නිය), Fargana Hoque, Rubya Haider, Sharmin Akhter, Sobhana Mostary, Ritu Moni, Shorna Akter, Nahida Akter, Rabeya Khan, Nishita Akter Nishi, Marufa Akter.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න පළමු පන්දුවේ දී ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යනවා. එසේ වූවත් 2 වැනි කඩුල්ලේ දී පන්දු 75ක දී ලකුණු 72ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා සමත් වෙනවා.
දෙවැනි කඩුල්ල ලෙසින් චමරි අතපත්තු ද දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. ඒ වෙද්දී ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.
චමරි අතපත්තු අද තම ඉනිමේ පළමු ලකුණ ලබා ගැනීමත් සමඟින් එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 4000 කඩඉමට පිවිසියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රමට අද තරගයේ දී වැඩි යමක් කිරීමට හැකි වෙන්නේ නැහැ. ඇය ගේ ඉනිම ලකුණු 4කට සීමා වෙනවා. ඊට පසුව පිටියට පිවිසි කවීෂා දිල්හාරි ද ලබා ගන්නේ ලකුණු 4ක් පමණක් පමණයි.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා හා සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 75ක දී ලකුණු 74ක් එක් කරනවා. නිලක්ෂිකා සිල්වා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගිය අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 174ක් ලෙසයි.
අනතුරුව ශ්‍රී ලංකා ඉනිම නැවත කඩා වැටීමකට ලක් වුණා. එහි දී අනුශ්කා සංජීවනී ලකුණු 2කට ද සුගන්දිකා කුමාරි ලකුණකට ද දැවී ගිය අතර ඊට පසු ව කඩුල්ලේ දී එතෙක් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටි හසිනි පෙරේරා ගේ ඉනිම ද අවසන් වෙනවා.
ඒ වෙද්දී ඇය පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 59ක ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර මෙම තරගයේ දී ඇය එක්දින ජාත්‍යන්තර ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.
8 වැනි කඩුල්ල ලෙසින් ඇය දැවී යෑමෙන් අනතුරු ව උදේශිකා ප්‍රබෝධනී ලකුණු 8කට ද සහ මල්කි මදාර ලකුණු 9කට ද දැවී යන අතර ඉනිම අවසන් වන විට ඉනෝකා රණවීර නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Shorna Akter ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව Rabeya Khan කඩුලු 2ක් ද, Nahida Akter, Nishita Akter Nishi සහ Marufa Akter කඩුල්ල බැගින් දවා ගත්තා.
- දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් පසු කරයි
- නිලක්ෂිකාගේ වේගවත් ඉනිමට වර්ෂාවෙන් කෙනෙහිළි
- එංගලන්තය, ශ්‍රී ලංකාව පරාජය කරයි
- ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට එතරම් ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන් පළමු පන්දුවාර 10 අවසන් කරන විට ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 23ක් පමණයි. එමෙන් ම ඔවුන්ගේ පළමු ලකුණු 50 වෙනුවෙන් පන්දු 105කට මුහුණ දීමට ද සිදු වෙනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමට සාධනීය තත්ත්වයක් එක් කිරීමට Sharmin Akhter සහ නායිකා Nigar Sultana සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පීඩනයට පත් කරමින් සිටිය ද Sharmin Akhter ආබාධිත තත්ත්වයකට පත් වීමත් සමඟින් එම තත්ත්වයේ වෙනසක් සිදු වූවා.
ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව පන්දු 120ක දී ලකුණු 82ක් එක් කර සිටි අතර Sharmin Akhter පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.
ඇය ගේ පුරප්පාඩුවට පිටියට පිවිසියේ Shorna Akter. ඇය නායිකාව සමඟ එක් වෙමින් එතැන් සිට පන්දු 58ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා. එහි දී ඇය පන්දු 27ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නා ලද අතර සිව් වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙනවා.
ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ පන්දුවාර 45.1ක් අවසන් ව තිබුණා. එතැන් සිට යැවුණ පන්දු 21 දී ලකුණු 17ක් එක් කරන ඔවුන් ගේ ඉනිමේ අවසන් පන්දුවාර 3 ආරම්භ වෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 21ක අවශ්‍යතාවක් සමඟිනුයි.
එම අවස්ථාවේ ඉනිමේ 48 වැනි පන්දුවාරය යැවීමේ වගකීම නායිකා චමරි අතපත්තු බාර ගත් අතර එම පන්දුවාරයේ දී හතරේ පහරක් සමඟින් ලකුණු 9ක් ලබා ගැනීමට ප්‍රතිවාදින් සමත් වීම, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දරා ගත නොහැකි පාඩුවක් වූවා.
නමුත් ඊළඟ පන්දුවාරය කඩුල්ලක් ද සමඟින් ලකුණු 3කට සීමා කිරීමට සුගන්දිකා කුමාරි සමත් වෙනවා. ඒ අනුව තරගයේ අවසන් පන්දුවාරය ආරම්භ වෙන්නේ බංග්ලාදේශ ජයග්‍රහණයට ලකුණු 9ක් අවශ්‍ය වෙමිනුයි.
නැවත පන්දු යැවීමේ වගකීම බාර ගත් චමරි අතපත්තු එම පන්දුවාරය අවසන් කරන්නේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු 50ක් සපුරා ගැනීමට අවශ්‍ය වූ කඩුලු 3ක් ද දවා ගනිමිනුයි.
එහි දී ඇය පළමු පන්දුවේ දී Rabeya Khan (1) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගන්නා ලද අතර ඊළඟ පන්දුවේ දී නිලක්ෂිකා සිල්වා විසින් පන්දුව කෙළින් ම කඩුල්ලට එල්ල කරමින් Nahida Akter (0) දවා ගන්නවා.
අනතුරු ව පන්දුවේ දී එතෙක් බංග්ලාදේශ ඉනිමේ නැංගුරම බවට පත් ව සිටි නායිකා Nigar Sultana දවා ගැනීමට ඇය සමත් වෙනවා. නිලක්ෂිකා සිල්වා වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් Nigar Sultana දැවී යන විට පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Marufa Akter කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් චමරි අතපත්තු තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු අර්ධ ශතකය සපුරා ගන්නවා.
චමරි අතපත්තු විසින් යැවුණ අවසන් පන්දුවාරය තුළ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4ක් ලකුණකට දැවී යන අතර තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය චමරි අතපත්තු ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව සුගන්දිකා කුමාරි කඩුලු 2ක් ද සහ උදේශිකා ප්‍රබෝධනී කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 202 (48.4) චමරි අතපත්තු 46, හසිනි පෙරේරා 85, නිලක්ෂිකා සිල්වා 37, Rabeya Khan 2/39, Shorna Akter 3/27
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 125 (14.2) Sharmin Akhter නොදැවී 64, Nigar Sultana 77, Shorna Akter 19, සුගන්දිකා කුමාරි 2/38, චමරි අතපත්තු 4/42
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 7ක ජයග්‍රහණයක්.
- තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හසිනි පෙරේරා (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 24 වැනිදා පාකිස්තානය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















