13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියට අතපොවන මානයේ සිටිය දී එම තරග මාලාවේ තරගාවලි 6ක ඉතිහාසය ගැන පෙර ලිපියකින් අපි සාකච්ඡා කළා.
මේ එහි දෙවැන්නයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල (තරාගවලි 1 සිට 6 දක්වා)
7 වැනි ලෝක කුසලානය – 2000 නවසීලන්තය
ශූරතාව – නවසීලන්තය
2000 වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ නවසීලන්තයයි. ඔවුන් ඊට පෙර 1982 වසරේ දී මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක් වූවා.
මෙවර තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ සත්කාරක නවසීලන්තය සහභාගී වෙන අතර පෙර තරගාවලිය හා එක් වූ ඩෙන්මාර්කය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සහභාගී වෙන්නේ නැහැ.
තරගාවලිය පැවැත්වෙන්නේ එක් එක් කණ්ඩායමට අනෙකුත් කණ්ඩායම සමඟ තරග වැදීමට අවස්ථාව ලබා දෙමින්. අවසානයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නවා.
ඒ අනුව 1 වැනි අවසන් පූර්ව තරගය සඳහා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව ද 2 වැනි අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය ද සුදුසුකම් ලබා ගන්නවා. එහි දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර අවසන් මහා තරගයේ දී සත්කාරක නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් පළමු වරට ලෝක කුසලානය තමන් සන්තක කර ගන්නවා.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව රසාංජලී ද සිල්වා ගේ නායකත්වයෙන් සහභාගී වෙන අතර ඔවුන් තරගාවලිය නිමා කරන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයට පිවිසෙමින්.
එහි දී ඔවුන් සහභාගී වූ තරග 7න් අයර්ලන්තයට එරෙහි ව ලකුණු 10ක සහ නෙදර්ලන්තයට එරෙහි ව ලකුණු 26ක ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් කරන ලද අතර අනෙකුත් තරග පරාජයට පත් වෙනවා.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Karen Rolton. ඇය තරග 7කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 393ක් ලබා ගන්නවා.
- ශ්‍රී ලංකාවට එරෙහි ව නොදැවී ලකුණු 154ක් ලබා ගත් ඇය තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් වෙනවා.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Charmaine Mason. ඇය තරග 8ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 17ක්.
- තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ නවසීලන්තයට එරෙහි ව ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත් එංගලන්තයේ Sarah Collyer.
8 වැනි ලෝක කුසලානය – 2005 දකුණු අප්‍රිකාව
ශූරතාව – ඕස්ට්‍රේලියාව
2005 වසරේ මාර්තු මස 22 වැනිදා සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වූවා. පෙර තරගාවලියට එක්වූ කණ්ඩායම් අතුරින් නෙදර්ලන්තය මෙම තරගාවලියට එක් නොවූ අතර ඒ වෙනුවට මෙවර තරගාවලියට එක් වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්.
තරගාවලිය සුපුරුදු පරිදි එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟින් පළමු වටයේ දී තරග වැදුණ අතර ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා එක් වුණා.
මෙම තරගාවලියේ පළමු තරග 4 ම වර්ෂාව හේතුවෙන් නොවිසඳුණ තරග ලෙසින් අවසන් වූ අතර පැවැති අනෙක් තරගවලින් එංගලන්තය සහ ඕස්ට්‍රේයාවත්, ඉන්දියාව සහ නවසීලන්තයට අතරත් අවසන් පූර්ව වටයේ තරග පැවැතියා.
ඒ අනුව එම තරගවලින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව සහ ඉන්දීයාව අවසන් මහා තරගය සඳහා එක් වූ අතර එහි දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 98ක ජයක් ලබා ගනිමින් 5 වැනි වරටත් ලෝක ශූරතාවයට හිමිකම් කියනවා. ඉන්දීය කණ්ඩායමක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා එක් වු පළමු අවස්ථාව මෙයයි.
මෙම තරගාවලිය සඳහා සඳමාලි දොලවත්ත ගේ නායකත්වයෙන් යුතුව සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. ඔවුන් මෙම තරගාවලියේ දී සහභාගී තරග 7 නිමා කරද්දී, දකුණු අප්‍රිකාව සමඟින් තරගය ජයග්‍රහණය කරන ලද අතර අයර්ලන්තය සමඟ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් කරනවා. අනෙකුත් තරග නිමා වෙන්නේ පරාජය වෙමිනුයි.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ එංගලන්තයේ Charlotte Edwards. ඇය තරග 6ක දී අර්ධ ශතකය 3ක් ද සමඟින් ලකුණු 280ක් ලබා ගන්නවා.
- තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව ලකුණු 136ක් ලබා ගත් එංගලන්තයේ Claire Taylor.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වූයේ ඉන්දියාවේ Neetu David. ඇය තරග 8 දී කඩුලු 20ක් දවා ගෙන තිබුණා.
- තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ නවසීලන්තයේ Louise Milliken. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.
9 වැනි ලෝක කුසලානය – 2009 ඕස්ට්‍රේලියාව
ශූරතාව – එංගලන්තය
2009 වසරේ මාර්තු මස 10 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය තරග 25කින් යුක්ත වූවා. මෙවර තරගාවලිය සුපුරුදු පරිදි කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැති අතර එහි දී නැවත වතාවක් පාකිස්තානය එක් වෙනවා. ඒ හේතුවෙන් පෙර තරගාවලියට එක් වූ අයර්ලන්තයට තමන්ගේ සහභාගීත්වය අහිමි වෙනවා.
තරගාවලියේ පැවැතියේ කාණ්ඩ 2ක් යටතේයි.
A කාණ්ඩය
නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව.
B කාණ්ඩය
එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව.
මෙම කාණ්ඩ අතුරින් පළමු වටය නිමාවේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ත්‍රිත්වයට පත් කණ්ඩායම් සුපිරි 6 වටය සඳහා තෝරා ගත් අතර ඒ අනුව පැවැති තරගාවලියේ අවසන් මහා තරගය සඳහා එම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ගන්නවා.
එහි දී නවසීලන්තයට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නා එංගලන්ත ක්‍රීඩිකාවෝ තෙවැනි වතාවටත් ලෝක ශූරියන් බවට පත් වෙනවා.
මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධන ට හිමි වූ අතර ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 4 ම පරාජයට පත් වෙනවා. ඒ අනුව ඔවුන්ට මෙම තරගාවලියේ දී හිමි වෙන්නේ 8 වැනි ස්ථානයයි.
- තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූයේ එංගලන්තයේ Claire Taylor. ඇය තරග 7ක ඉනිම් 6කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 324ක් ලබා ගන්නවා.
- තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූයේ නවසීලන්තයේ Suzie Bates. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ පාකිස්තානයට එරෙහිවයි.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙන්නේ එංගලන්තයේ Laura Marsh. ඇය තරග 6ක දී දවා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 16ක්.
- පාකිස්තානයට එරෙහි ව ලකණු 15කට කඩුලු 5ක් දවා ගන්නා ඇය තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යවන්නිය බවට ද පත් වූවා.
10 වැනි ලෝක කුසලානය – 2013 ඉන්දියාව
ශූරතාව – ඕස්ට්‍රේලියාව
මෙම තරගාවලිය 2013 වසරේ ජනවාරි මස 31 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැති අතර ඔවුන් සත්කාරකයක් ලෙසින් කටයුතු කළ තෙවැනි අවස්ථාව මෙයයි.
තරගාවලිය සුපුරුදු ලෙසින් කාණ්ඩ 2කින් යුක්තව පැවැතියා.
A කාණ්ඩය
එංගලන්තය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව
B කාණ්ඩය
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය
තරගාවලියේ පළමු වටයේ ප්‍රසාද ලකුණු මත එක් කාණ්ඩයකින් කණ්ඩායම් ත්‍රිත්වය බැගින් රැගෙන සුපරි 6 දෙනාගේ වටය පැවැතියා. එහි දී පළමු ස්ථාන ද්විත්වයට පත් බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු වරට ද එතෙක් 5 වතාවක් ශූරියන් බවට පත් ඕස්ට්‍රේලියාව ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
පැවැති එම තරගයෙන් 6 වැනි වරටත් ලෝක ශූරියන් බවට පත් වෙමින් ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලකුණු 114ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධන සතු වූ අතර තරගාවලියේ පළමු වටය ඔවුන් නිමා කරන්නේ 2 වැනි ස්ථානයට පත් වෙමින්. ඒ අනුව සුපිරි 6 වටයට පිවිසි ඔවුන්ට, එහි දී හිමි වෙන්නේ අවසන් ස්ථානය.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභීනිය බවට පත් වෙන්නේ නවසීලන්තයේ Suzie Bates. ඇය තරග 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 407ක් රැස් කරනවා.
- ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 171ක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Stafanie Taylor තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ පිතිකාරිනිය බවට පත් වුවා.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ Megan Schutt. ඇය ලබාගත් කඩුලු සංඛ්‍යාව 15ක්.
- දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 17කට කඩුලු 5ක් දවා ගත් එංගලන්තයේ Anya Shrubsole තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
11 වැනි ලෝක කුසලානය – 2017 එංගලන්තය
ශූරතාව – එංගලන්තය
2017 වසරේ ජුනි 24 වැනිදා සිට ජුලි 23 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ එංගලන්තයයි. ඊට පෙර ඔවුන් 1973 වසරේ ද සහ 1993 වසරේ ද මේ සඳහා සත්කාරකත්වය දක්වා තිබුණා.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් එක් කර ගැනීමේ දී 2014 වසරේ 2016 වසර දක්වා පැවැති ICC Women’s Championship තරගාවලියට එක් වී පළමු ස්ථාන 4ට පත් කණ්ඩායම් සෘජුව ම ලෝක කුසලාන තරගාවලියට එක් කර ගත් අතර අනෙකුත් කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වෙමින් ඊට එක් වුණා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සෘජුව ම ඊට එක් වූ අතර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි මඟින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක් වුණා.
තරගාවලියේ පළමු වටයේ දී එක් එක් කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සමඟ තරග වැඳුණ අතර එහි දී පළමු ස්ථාන 4ට පත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව පැවැති අවසන් පූර්ව වටයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් එංගලන්තය ද සහ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම තරගයේ දී ලකුණු 9ක ජයග්‍රහණයක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ 4 වැනි වතාටත් ලෝක ශූරියන් බවට පත් වූවා.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනෝකා රණවීර ගේ නායකත්වය යටතේ සහභාගී වෙන අතර එහි දී ඔවුන් තරගාවලිය නිමා කරන්නේ 7 වැනි ස්ථානයට පත් වෙමින්.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ තරග 9ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 410ක් ලබා ගත් එංගලන්තයේ Tammy Beaumont.
- ඕස්ට්‍රේලියාවට එරෙහි ව නොදැවී ලකුණු 178ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තරගාවලියේ ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිනිය බවට පත් වෙනවා.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වූයේ තරග 7ක දී කඩුලු 15ක් දවා ගත් දකුණු අප්‍රිකාවේ D van Niekerk.
- තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වූයේ ලකුණු 46කට කඩුලු 6ක් දවා ගත් එංගලන්තයේ Anya Shrubsole. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ ඉන්දියාවට එරෙහිවයි.
12 වැනි ලෝක කුසලානය – 2022 නවසීලන්තය
ශූරතාව – ඕස්ට්‍රේලියාව
2021 වසරේ දී පැවැත්විමට නියමිත ව තිබූ මෙම තරගාවලිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැවැත්වෙන්නේ 2022 මාර්තු මස 4 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වායි. නවසීලන්තයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරකයන් ලෙසින් නවසීලන්තය ද, Women’s Championship මඟින් සෘජුව ම සුදුසුකම් ලබා ගත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ද සහ ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ ද මෙම තරගාවලියට එක් වුණා.
ලෝක කුසලාන තරගාවලි 6කට පසුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.
තරගාවලිය සුපුරුදු ලෙසින් එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදුණ අතර එහි දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 4ට පත් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
එම වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ පරාජය කළ ඕස්ට්‍රේලියාව ද සහ දකුණු අප්‍රිකාව පරාජය කළ එංගලන්තය ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම තරගයේ දී එංගලන්තයට එරෙහි ව ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියාව 7 වැනි වතාවටත් ලෝක ශූරියන් බවට පත්වෙනවා.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ තරග 9ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 509ක් ලබා ගත් ඕස්ට්‍රේලියාවේ Alyssa Healy.
- ඇය එංගලන්ත කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 170 තරගාවලියේ පිතිකාරිනියක විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
- තරග 9ක දී කඩුලු 21ක් දවා ගත් එංගලන්තයේ Sophie Ecclestone තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය බවට පත් වුණා.
- ඇය විසින් දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 36කට දවාගත් කඩුලු 6 තරගාවලියේ පන්දු යවන්නියක විසින් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වූවා.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<