නිහඬ ප්‍රහාරකයා සහ ශ්‍රී ලංකාවේ අසාර්ථක මෙහෙයුම

26
ICC Women's World Cup

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025 ආසියානු විස්සයි විස්ස කුසලාන ගමන තියුණු අවසානයකින් සැමරීමට පැතුම් නිස්සංක මඟ පා දා දුන්නා. නිමා වූ එම සිකුරාදා රාත්‍රිය මෙරට වැසි සහිත කාලගුණයකින් යුක්ත වූ අතර තත්ත්වය කෙතෙක් ද යත් රටේ විවිධ ප්‍රදේශවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ද නිවේදනය කර තිබුණා. එදින දිවයින පුරා ඇද හැලුණ වර්ෂාව මිලි මීටර් 75ක් පමණ ද සහ සුළඟ පැයට කිලෝ මීටර් 40-50ක ද වූ බවයි පැවැසුණේ.

නමුත් ඒ අවදානම් තත්ත්වය හමුවේ පැවැති සීත කාලගුණ තත්ත්වය මෙරට රූපවාහිනී තිර මත දෙනෙත් තබා සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොදැණෙන්නට පැතුම් නිස්සංක වගබලා ගත්තා. ඔහුත් සමඟින් කුසල් පෙරේරා ද ඊට හරි හරියට උදව් කළ අතර තරගයේ අවසන් පන්දුව දක්වා ම කුමකින් කුමක් සිදුවේ දැයි කිසිවෙක්ට සිතා ගැනීමට නොහැකි තරමට ම එය උද්වේගකර වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ ඉන්දියාවේ පරාජයයි. තරගය ඒ තරමට ම උණුසුම් වී තිබුණා. නමුත් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් පැතුම් නිස්සංක දැවී යන විට එය තරමක දෙදිරීමක් බවට පත් වෙනවා.

එසේ වූවත් නැවත ඒ උණුසුම අවසන් පන්දුවේ දී ලබා දීමට දසුන් ශානකට සහ ජනිත් ලියනගේ ට හැකි වෙනවා. අවසන් පන්දුවේ දී දසුන් ශානක නොවැටී ලකුණු 2ක සම්පූර්ණ කළා නම් තවත් ලකුණක් හඹා යෑමේ අවස්ථාව ඔවුන්ට නිතැතින් ම හිමි වෙනවා. එසේ වූවා නම් මේ තරගයේ තීරණය ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙසින් ලියැවීමට ඉඩ තිබුණා.

ඒ ලෙසින් එම ඉනිම් ද්විත්වය ලකුණු සම වීමෙන් අවසන් වෙන අතර  ඉන් අනතුරු ව පැවැති සුපිරි පන්දුවාරයේ දී නම් තරගයේ කිසිදු වාසියක් ශ්‍රී ලංකාව වෙත හිමි වෙන්නේ නැහැ.

>>ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්!<<

පළමු වටයේ අපරාජිත ව සිටිමින් සුපිරි සිව් දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටය අවසන් කරන්නේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකරමින්. වාර්තා ගත ඉන්දියාව සමඟ තරගයට පිවිසෙන විට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිටියේ තරගාවලියෙන් ඉවතට විසි වූ කණ්ඩායමක් ලෙසයි.

2025 විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ විසඳුම තරගයේ වීරයා
1 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්. කමිල් මිෂාර
2 හොංකොං ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්. පැතුම් නිස්සංක
3 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට  කඩුලු 6ක ජයක් කුසල් මෙන්ඩිස්
  සුපිරි 4 වටය
4 බංග්ලාදේශය බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්. Saif Hassan
5 පාකිස්තානය පාකිස්තානයට කඩුලු 5ක ජයක්. Hussain Talat
6 ඉන්දියාව සුපිරි පන්දුවාරයේ ජය ඉන්දියාවට. පැතුම් නිස්සංක

ඉන්දියාව සමඟින් නිමා වූ එම තරගයේ දී දෙරටේ ම ක්‍රීඩකයෝ කඩුලු 5ක් බැගින් දැවී ලකුණු 202ක් බැගින් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.

එය ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු අතර 2022 වසරේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 212ට පමණක් දෙවැනි වූ ඉනිම් බවට පත් වූවා.

නිමා වූ එම තරගයේ දී දෙරට ක්‍රීඩකයෝ ලකුණු 404ක් රැස් කරන ලද අතර එය මෙතෙක් ආසියානු කුසලාන තරගා ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වුණා. ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සතුවයි. ඔවුන් 2022 වසරේ දී DICS ක්‍රීඩාංගණයේ දී ලකුණු 367ක් ලබා සිටියා.

සමස්තයක් ලෙසින් ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වාර්තාගත ඉනිමත්, ප්‍රතිවාදී ඉලක්කය හඹා යෑමත් ප්‍රශස්ත ඉනිම් ලෙසින් ගත හැකියි. ඊට අමතර ව අපිට කතා කළ හැකි නම් පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක, කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් ගේ සාර්ථක පිතිකරු ඉනිම් සහ නවක ක්‍රීඩක කමිල් මිෂාර ගේ කලඑළි බැසී ඉනිම් ගැනත් පමණි.

එපමණකි, ඊට අමතර ව තවත් ප්‍රශස්ථ මට්ටමේ ඉනිමක්, පන්දු යැවීමක් හෝ පන්දු රැකීමක් ගැන සටහන් තැබීමේ ඉඩකඩක් අපට තිබේද?

අප මෙවර තරගාවලියේ දී අපට වඩා ස්ථාන 3ක් පහළින් ශ්‍රේණිගත ව ඇති බංග්ලාදේශය හමුවේ පළමු වටයේ තරගය ජයග්‍රහණය කළ ද අවශ්‍ය ම තරගයේ දී පරාජයට පත් වෙනවා. එය අපගේ පළමු කඩා වැටීමයි.

ඊට පෙර අපි පළමු වටයේ දී අපට වඩා ස්ථාන 15කට පසුව ශ්‍රේණිගත ව සිටින හොංකොං සමඟ තරගය සහ ස්ථාන 5ක් පසුපසින් සිටින ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට හැකි වූව ද සුපිරි 4 වටයේ දී අපට වඩා ස්ථානයක් පහළින් සිටින පාකිස්තානය හමුවේ පරාජයට පත් වෙනවා. ඒ සමඟිනුයි ආසියානු කුසලානයේ මෙවර අපේ ගමනේ නිමා ව නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ.

කණ්ඩායමක් ලෙසින් එලෙසින් තරග අවසන් කරද්දී පිතිකරුවෙක් ලෙසින් පැතුම් නිස්සංක මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6 අවසන් කරන්නේ ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 261ක් ලබා ගනිමින්. ඒ ඔහු මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් වර්ගීකරණයට ද ලක් වෙමිනුයි.

පැතුම් නිස්සංක ගේ මෙම දක්ෂතා අතර ඉන්දියාව සමඟ වූ තරගයට අමතර ව හොංකොං සමඟ තරගයේ දී වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම ද වඩාත් කතා බහට ලක් වුණා. ඊට වඩාත් ම හේතු වෙන්නේ ඔවුන් ඉදිරියේ දී අපේ අනෙක් පිතිකරුවෝ පෑ දුර්වලතාවන්.

කෙසේ වෙතත් මේ නිහඬ ප්‍රහාරකයාගේ වික්‍රමාන්විත ඉනිම් අතර ඉන්දීය ඉනිම ගැන නැවත නැවතත් කතා කිරීමට ගිජු වෙන තරමට ම එය රසවත් විම සුවිශේෂයි.

මෙම තරගයේ දී පැතුම් නිස්සංක වාර්තා කරන්නේ තම විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකයයි. තම 74 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වූ පැතුම් නිස්සංක මේ වාර්තා කළ ශතක ඉනිම මෙරට ක්‍රීඩකයෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී වාර්තා කරන ලද සිව් වැනි ශතකය ලෙසින් ඉතිහාසයට එක් වූ අතර ඒ අතුරින් ඉහළින් ම සටහන් වෙන ඉනිම බවට ද මෙය පත් වුණා.

ඊට පෙර මෙරට වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී ඉනිමක වැඩිම ලකුණු ලබා සිටි පිතිකරු බවට පත් ව සිටියේ ටී. එම්. ඩිල්ශාන්.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා ශතක ලැයිස්තුව

  Player Runs Balls 4s 6s Opposition Ground Year
1 මහේල ජයවර්ධන 100 64 10 4 සිම්බාබ්වේ Providence 2010
2 ටී. එම්. ඩිල්ශාන් 104* 57 12 5 ඕස්ට්‍රේලියාව පල්ලෙකැලේ 2011
3 කුසල් පෙරේරා 101 46 13 4 නවසීලන්තය Nelson 2025
4 පැතුම් නිස්සංක 107 58 7 6 ඉන්දියාව Dubai 2025

එමෙන් ම පැතුම් නිස්සංක ගේ මෙම ඉනිමත් සමඟින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ශතකයක්, එක්දින ද්විත්ව ශතකයක් සහ විස්සයි විස්ස ශතකයක් බැගින් ලබා ගත් පිතිකරුවන් අතර 6 වැනියා බවට පත් වීමට ද ඔහු සමත් වීම කැපී පෙණුනා.

ඊට පෙර මෙම කඩඉම්වලට පිවිස තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් හී Chris Gayle, ඉන්දියාවේ Rohit Sharma, නවසිලන්තයේ Martin Guptill, ඕස්ට්‍රේලියාවේ Glenn Maxwell සහ ඉන්දියාවේ Shubman Gill.

පැතුම් නිස්සංක ගේ මෙම ඉනිම ගොඩ නැගීමේ දී කුසල් පෙරේරා දැක් වූ විශ්වසනීය සහයෝගය ද වඩාත් වැදගත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 127ක් ගොඩ නගන ලද අතර එම සබඳතාව මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ මෙතෙක් හොඳම ලකුණු සබඳතාව ලෙසින් ද සටහන් වුණා.

Abhishek Sharma and Shubman Gill

ඊට පෙර එම දක්ෂතාවේ වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Abhishek Sharma සහ Shubman Gill එක් ව මෙවර තරගාවලියේ ම පාකිස්තානයට එරෙහි ව 1 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 105ක සබඳතාවයි. එය වාර්තා වී දින 5ක ඇවෑමෙන් පැතුම් සහ කුසල් මෙම වාර්තාව තමන් සතු කර ගත්තා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවන් පෑ දක්ෂතා අතර වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පැතුම් නිස්සංක පත් වෙද්දී කුසල් පෙරේරා ඉනිම 6ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 146ක් ද සහ කුසල් මෙන්ඩිස් ඉනිම 6ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 122ක් ද ලබා ගනිමින් 2 වැනි සහ 3 වැනි ස්ථානවලට පත් වෙනවා.

කුසල් මෙන්ඩිස් ගේ ඉනිම් ද ගෙවී යන්නේ 3, 11, 74*, 34, 0 සහ 0 ලෙසිනුයි. ඒ අනුව ඔහු ද මෙවර තරගාවලියේ දී වඩාත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන් බවක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ලකුණු අතර සැලකිය යුතු ඉනිම් ලෙසින් ඇත්තේ  ඇෆ්ගනිස්තාන (නොදැවී 74) සහ සුපිරි 4 වටයේ බංග්ලාදේශය (34) සමඟ ඉනිම් පමණයි.

එසේ වෙද්දී නවක ක්‍රීඩක කමිල් මිෂාර මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 74ක් ලබා ගනිමින්. එම ඉනිම් අතර බංග්ලාදේශයට එරෙහි ව ජයග්‍රහණය කළ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගැනීමේ සම්පූර්ණ ගෞරවය ඔහු විසින් සතු කර ගැනීම සුවිශේෂී වූවා. තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9කට පමණක් ක්‍රීඩා කර ඇති  නවක ක්‍රීඩකයෙක් ලෙසින් ඔහුගේ මේ ප්‍රවිශ්ඨය වැදගත් පුවතක් කර ගත හැකියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දවා ගැනීම්වල දී වනිඳු හසරංග කඩුලු 8ක් ද, දුශ්මන්ත චමීර කඩුලු 7ක් ද සහ නුවන් තුෂාර කඩුලු 6ක් ද ලෙසින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව දසුන් ශානක තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 93ක් ද සහ කඩුලු 5ක් දවා ගනිමින් ද දවා ගන්නවා.

ඔහුගේ පිතිකරු ඉනිම් අතර බංග්ලාදේශයට එරෙහි ව සුපිරි 4 වටයේ දී නොදැවී ලබා ගත් ලකුණු 64ක් තිබෙනවා. ඒ අනුව ඔහු අනෙක් ඉනිම් 4 දී ලබා ගන්නේ 29ක් පමණක් වන අතර ඒ අතර නොදැවුණ ඉනිම් 2ක් ද තිබෙනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් තරගාවලියට එක් වූ කමිඳු මෙන්ඩිස් ට ද මෙවර තරගාවලියේ දී එතරම් ම සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඔහු ගේ දක්ෂතාව සටහන් වූයේ තරග 6ක ඉනිම් 5ක දී ලබා ගත් ලකුණු 85ක්. ඒ අතර සුපිරි 4 වටයේ දී පාකිස්තානයට එරෙහි ව ලබා ගත් ලකුණු 50ක් ද තිබෙනවා.

ඒ අනුව කමිඳු මෙන්ඩිස්ට ද අනෙක් ඉනිම් 4 දී ලබා ගැනීමට හැකි වෙන්නේ තවත් ලකුණු 35ක් පමණයි. පන්දු යැවීමේ දී පන්දුවාර 6ක් පමණක් යවන ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

නායක චරිත් අසලංක මෙවර තරගාවලියේ දී තරග 6 දී ලබා ගන්නේ ලකුණු 75ක් පමණක් වන අතර එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 15.00ක්.

තරගාවලිය පුරා ම මේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් කැපී පෙණුනා. ඔවුන්ට තම දක්ෂතා එක මට්ටමක පවත්වාගෙන යෑමට නොහැකි වීමේන් සිදු වූයේ අපේක්ෂිත ශ්‍රී ලංකා ලකුණු පුවරු දෙදරා යෑමයි. එමඟින් ප්‍රතිවාදීන්ට වැඩි වාසි ලබා දීමයි.

එමෙන් ම ඊට අමතර ව ඇතැම් තරගවල විසඳුමට බලපෑ දුර්වල පන්දු රැකීම් ද නැත්තේ ද නොවේ. ඒ දේවල් අවම කර ගත්තේ නම් මේ පන්දු යවන්නන් ද සමඟින් මෙවර තරගාවලියේ දී මීට වඩා යමක් කර ගැනීමේ හැකියාව තිබුණි යැයි අපට සිතේ. ඒ අවසන් මහා තරගයට පිවිසීම කෙසේ වෙතත් ගෞරවනීය ස්ථානයක සිට තරගාවලිය නිමා කිරීමට තිබු හැකියාවයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<