ගැටලු විසඳා ගැනීමට ICC නියෝජිතයින් බංග්ලාදේශයට යයි

4
ICC T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳ මේ වන විට විවිධ ගැටලු මතු වී තිබෙනවා.

පළමුව බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman එළඹෙන IPL තරගාවලියෙන් ඉවත් කිරීමේ ගැටලුව පැන නැගුණු අතර, ඉන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් වෙතින් මෙසේ සියලු ගැටලු පැන නැගීම ආරම්භ වුනා.

බංග්ලාදේශයේ දී හින්දු ජාතිකයින්ට අඩන්තේට්ටම් සිදු වන බව පවසමින් ඉන්දියාවෙන් යම් ප්‍රතිරෝධයක් ගොඩ නැගී ආ අතර, ඒ අනුවයි Kolkata Knight Riders කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී සිටි Mustafizur IPL තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය වන්නේ.

කෙසේ වෙතත් ඒත් සමඟම බංග්ලාදේශ ක්‍රිකට් පාර්ශවයෙන් සිය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පැන නැගීම ආරම්භ වුනා.

මෙවර ලෝක කුසලානයේ දී බංග්ලාදේශය සිය මූලික වටයේ සියලු තරග ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් තරග ත්‍රිත්වයක් Mustafizur ට ගැටලු පැන නැගුණු කණ්ඩායම අයත් ප්‍රදේශය වන කොල්කටාවේ පැවැත්වීමට නියමිත අතර, තවත් තරගයක් මුම්බායේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවන් වාතාවරණයක් යටතේ තම ක්‍රීඩකයින්ට ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නිසා තම සියලු තරග ශ්‍රී ලංකාවට රැගෙන යා යුතු බව බංග්ලාදේශයෙන් සඳහන් වූ අතර, ඉන් පසුව ඔවුන් එය ඉල්ලීමක් ලෙස ICC වෙත යොමු කිරීමද සිදු කළා.

ඉන් අනතුරුව ICC සහ BCB අතර Online ක්‍රමය යටතේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම් ද සිදු වුනා.

මෙහි දී බංග්ලාදේශය පාර්ශවයෙන් දිගින් දිගටම පැන නැගුණු කාරණාව ලෙස සිය ක්‍රීඩකයින්ට ඉන්දියාවේ දී ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු විය හැකි බව අවධාරණය කළත්, ICC සහ BCCI පාර්ශවයෙන් සඳහන් වන අයුරින් බංග්ලාදේශයට හෝ වෙනත් එකදු කණ්ඩායමකට ඉන්දියාවේ දී ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති නොවන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සෑම අවස්ථාවකම බංග්ලාදේශය පාර්ශවයෙන් ඉදිරිපත් වන්නෙ Mustafizurගේ කාරණාව වන අතර, ඔහුගේ සිදුවීමට ආසන්න කාලය තුළ ඉන්දීය ආගමික සහ දේශපාලනික නායකයින් විසින් මේ පිළිබඳ සිදු කළ අදහස් දැක්වීම් ද බංග්ලාදේශයේ අවධානයට ලක් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා ගැනීමට ඇති අවසන් අවස්ථාව ලෙස ICC නිළදාරීන් පිරිසක් මෙම සති අන්තයේ දී බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, එහි දී මෙම සියලු ගැටලු සාකච්ඡා කර විසඳා ගත හැකි බවට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කරනවා.

කෙසේ වෙතත් මෙහි දී ICC සහ BCCI විශේෂයෙන්ම අවධාරණය කරන කරුණක් වන්නේ මේ මොහොතේ ලෝක කුසලාන තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බවයි.

තරගාවලි කාල සටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රකාශය පත් කෙරුණු අතර, ඒ මොහොතේ මේ පිළිබඳ බංග්ලාදේශයෙන් විරෝධතා මතු නොවුනු බවයි ICC පාර්ශවයෙන් සඳහන් වන්නේ. එමෙන්ම මේ මොහොතේ තරග කාල සටහන වෙනස් කිරීම අනවශ්‍ය ගැටලු රැසක් ඇති කළ හැකි බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා බංග්ලාදේශය සහ ICCය විසින් මෙම ගැටලුව කෙසේ විසඳා ගනී ද යන්න මේ වන විට මුළු ක්‍රිකට් ලෝකයේ ම අවධානය දිනා ගත් සිදුවීමක් වී හමාරයි.

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<