පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගනී

ICC Men's Under-19 World Cup 2026

9
ICC Men's Under-19 World Cup 2026

වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ අද (11) සමත් වෙනවා.

නැමීබියාවේ United ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 34කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 176ක්. එහෙත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 163ක් පමණයි.

>>19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි<<

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 121ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිමන්ත මහවිතාන ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.

විරාන් චමුදිත සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් වැදගත් ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 5 වැනි කඩුල්ලේ දී යි. ඊට පෙරමුණ ගන්නේ කවිජ ගමගේ සහ චාමික හිනටීගල. චාමික හීනටිගල පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යන විට එම කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 52ක් එක් ව තිබුණා.

කවිජ ගමගේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Daniel Bosman කඩුලු 3ක් ද, Paul James සහ Bandile Mbatha කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Muhammed Bulbulia. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. ඊට අමතර ව Lethabo Phahlamohlaka පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කුගදාස් මාතුලන් ලකුණු 19කට කඩුලු 2ක් ද, චාමික හීනටිගල ලකුණු 27කට කඩුලු 2ක් ද සහ විරාන් චමුදිත ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව මලින්ත සිල්වා සහ ජීවන්ත ශ්‍රීරාම් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 225 (48.2) දිමන්ත මහවිතාන 45, විරාන් චමුදිත 87, කවිජ ගමගේ 48, Daniel Bosman 3/35, Bandile Mbatha 2/10, Paul James 2/09
  • දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 163 (33.3) Adnaan Lagadien 20, Muhammed Bulbulia 54, Lethabo Phahlamohlaka 30, විරාන් චමුදිත 2/31, කුගදාස් මාතුලන් 2/19, චාමික හීනටිගල 2/27

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 14 වැනිදා ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් Windhoek හි දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<