සිම්බාබ්වේ සහ නැමීබියාවේ දී පැවැත්වෙන 16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින් ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එක් වීමට නියමිතයි. මෙම කාණ්ඩයේ සියලු තරග පැවැත්වෙන්නේ නැමීබියාවේ High Performance Oval ක්‍රීඩාංගණයේදීයි.
මේ එම කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වෙන කණ්ඩායම් පිළිබඳ ව කෙරෙන සොයා බැලීමක්.
ඇෆ්ගනිස්තානය
ඇෆ්ගනිස්තානයේ වැඩිම යොවුන් ශතකලාභී Faisal Shinozada
- 1 වැනි තරගය – ජනවාරි 16 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ
- 2 වැනි තරගය – ජනවාරි 18 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ
- 3 වැනි තරගය – ජනවාරි 21 වැනිදා ටැන්සානියාව සමඟ
2010 වසරේ දී පළමු වරට යොවුන් ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන ඇෆ්ගනිස්තානය මේ දක්වා තරගාවලි 8කට සහභාගී වී සිටිනවා. ඒ අතර ඔවුන් 2018 වසරේ දී සහ 2022 වසරේ දී තරගාවලියේ සිව් වැනියට දක්ෂතා දැක් වූ කණ්ඩායම ලෙසින් ලැයිස්තු ගත වෙන අතර එය ඔවුන් මෙම තරග මාලාවේ මේ දක්වා දැක් වූ ඉහළ ම දක්ෂතාවයි.
මෙතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරග 44කට සහභාගී වී ඇති ඔවුන් ඉන් තරග 21ක් ජයග්‍රහණය කරන ලද අතර තරග 23ක් පරාජිත තරග ලෙසින් අවසන් කර තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා එක් වෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සුක්කානම හිමි ව තිබෙන්නේ Mahboob Khan වෙතයි. නමුත් පැවැති පුහුණු තරග ද්විත්වයේ දී ම කණ්ඩායම වගකීම දැරුවේ කඩුලු රකින ක්‍රීඩක Khalid Ahmadzai විසිනුයි.
ඉදිරිපෙළ දකුණත් පිතිකරුවෙක් වන Khalid Ahmadzai ශ්‍රී ලංකාව සමඟින් පැවැති පුහුණු තරගයේ දී නොදැවී ලකුණු 57ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
කෙසේ වෙතත් කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ තවමත් 17 වැනි වියේ පසුවෙන ඉදිරිපෙළ පිතිකරු Faisal Shinozada. ඔහු යොවුන් එක්දින ශතක 4කට හිමිකම් කියන පිතිකරුවෙක්.
ඔවුන් ට අමතර ව ඇෆ්ගනිස්තාන පිතිකරු ලැයිස්තුවේ Will Malajczuk, Alex Lee Young සහ Uzairullah Niazai දක්ෂ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.
පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා වී ඇත්තේ දකුණිත් මඳ වේග පන්දු යවන Salam Khan. ඔහු සිම්බාබ්වේ දී නිමා වූ තුන් කොන් එක්දින තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් මෙම විශ්වාසය දිනා තිබෙනවා.
කෙසේ වෙතත් පැවැති ලෝක කුසලාන පුහුණු තරගවල දී මෙතෙක් වැඩි දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වූයේ දකුණතින් මඳ වේග පන්දු යවන Khatir Stanikzai. ඔහු ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගයේ දී ලකුණු 36කට කඩුලු 3ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන Wahidullah Zadran, වමතින් දඟ පන්දු යවන Zaitullah Shaheen, දකුණතින් පිට දඟ පන්දු යවන පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන Uzairullah Niazai සහ පා දඟ පන්දු යවන Hafeez Zadran ද තරගයක් වෙනස් කළ හැකි පන්දු යවන්නන් ලෙසින් හැඳින් වෙනවා.
කණ්ඩායමේ මද වේග පන්දු යන්නන් අතුරින් දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Nooristani Omarzai සහ Abdul Aziz, සහ වමතින් දඟ පන්දු යවන Roohullah Arab ද ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කිරීමට සැදී පැහැදී සිටිනවා.
ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Mahboob Khan (නායක – කඩුලු රකින්නා), Azizullah Miakhil, Faisal Shinozada, Khalid Ahmadzai (කඩුලු රකින්නා), Osman Sadat, Uzairullah Niazai, Abdul Aziz, Hafeez Zadran, Khatir Stanikzai, Nazifullah Amiri, Nooristani Omarzai, Alex Lee Young, Roohullah Arab, Salam Khan, Wahidullah Zadran, Zaitullah Shaheen.
දකුණු අප්‍රිකාව
යොවුන් එක්දින තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකලාභී Jorich Van Schalkwyk
- 1 වැනි තරගය – ජනවාරි 16 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ
- 2 වැනි තරගය – ජනවාරි 19 වැනිදා ටැන්සානියාව සමඟ
- 3 වැනි තරගය – ජනවාරි 22 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ
මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියට පිවිසෙන්නේ දකුණත් ඉදිරි පෙළ පිතිකරු Muhammed Bulbulia ගේ නායකත්වයෙනුයි. නිමා වූ ශ්‍රී ලංකාව හා සමඟ පැවැති පුහුණු තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් දක්ෂ විශ්වසනීය නායකත්යෙක් ලෙසින් තරගාවලියට එක් වෙනවා.
කෙසේ වෙතත් කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතුරින් වඩාත් විශ්වාසයි දිනා ඇත්තේ දකුණත් ඉදිරි පෙළ පිතිකරු Jorich Van Schalkwyk. ඔහු පසුගිය ජුලි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතකයක් ලබා ගනිමින් යොවුන් එක්දින තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකලාභියා බවට පත් වූවා.
එමෙන් ම කණ්ඩායම හා එක් ව සිටින වමත් පිතිකරු Jason Rowles ද ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු නිමා වූ ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැති යොවුන් එක්දින තරගාවලියේ දී තරග 3ක දී ශතකයක් සමඟින් ලකුණු 149ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. එමෙන් ම ඔහු ඔස්ට්‍රේලියාව සමඟින් පැවැති ලෝක කුසලාන පුහුණු තරගයේ දී ද ශතකයක් වාර්තා කරමින් තව දුරටත් එම විශ්වාසය පුළුල් කර ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Daniel Bosman, Paul James සහ Armaan Manack ද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දක්ෂ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව කණ්ඩායම හා එක් ව සිටිනවා.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රමුඛතමයා වෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන Ntando Soni. ඔහුට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන JJ Basson, වමතින් මඳ වේග පන්දු යවන Michael Kruiskamp සහ දකුණතින් මඳ වේග පන්දු යවන Bayanda Majola ද දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එක් වෙන විශ්වසනීය පන්දු යවන්නන් වී සිටිනවා.
දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Muhammed Bulbulia (නායක), Adnaan Lagadien, Armaan Manack, Lethabo Phahlamohlaka (කඩුලු රකින්නා), Jorich Van Schalkwyk, JJ Basson, Daniel Bosman, Corne Botha, Paul James, Bandile Mbatha, Jason Rowles, Ntando Soni, Enathi Kitshini, Bayanda Majola.
ටැන්සානියාව
ටැන්සානියානුවන්ගේ මංගල යොවුන් ලෝක කුසලාන ප්‍රවිශ්ඨය
- 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ
- 2 වැනි තරගය – ජනවාරි 19 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ
- 3 වැනි තරගය – ජනවාරි 21 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ
යොවුන් ලෝක කුසලාන ඉතිහාසයට එක් වෙන නවතම කණ්ඩායම බවට පත් වෙන්නේ ටැන්සානියානු කණ්ඩායමයි. ඔවුන් මෙම කඩඉමට පිවිසෙන්නේ පසුගිය වසරේ දී නයිජීරියාවේ දී පැවැති අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් බවට පත් වෙමිනුයි.
එම කණ්ඩායම මෙහෙවීමේ ගෞරවය හිමි ව ඇත්තේ Laksh Bakrania වෙතයි. ටැන්සානියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට සහභාගී වී සිටින ඔහු වමත් දඟ පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරමින් මේ දක්වා කඩුලු 20ක් දවාගෙන තිබෙනවා. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු ජපානය සමඟ පැවැති ලෝක කුසලාන පුහුණු තරගයේ දී නොදැවී අර්ධ ශතකයක් ද වාර්තා කරනවා.
ඔහුත් සමඟින් ටැන්සානියානු විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ඇති Khalidy Juma ද කණ්ඩායමේ සිටින වඩාත් සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. දකුණතින් වේග පන්දු යවන ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 15කට සහභාගී වෙමින් කඩුලු 15ක් ලබා තිබෙනවා.
ඔවුන්ට අමතර ව Karim Kiseto, Augustino Mwamele සහ Simba Mbaki පිතිකරුවන් ලෙසින් ද වමතින් දඟ පන්දු යවන Raymond Francis, දකුණතින් වේග පන්දු යවන්නන් වන Augustino Mwamele සහ Khalidy Juma ද ටැන්සානියාව වෙනුවෙන් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු වන ක්‍රීඩකයන් වේ.
ටැන්සානියාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Laksh Bakrania (නායක), Alfred Daniel, Hamza Ally, Omary Ramadhani, Abdulazak Mohamedi, Ayaan Shariff, Darpan Jobanputra, Dylan Thakrar, Acrey Hugo, Ally Hafidh, Raymond Francis, Khalidy Juma, Karim Kiseto, Augustino Mwamele, Simba Mbaki.
බටහිර ඉන්දීය කොදෙව්
ජපානය සමඟ පැවැති පුහුණු තරගයේ දී ශතකලාභී Tanez Francis සහ Shamar Apple
- 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා ටැන්සානියාව සමඟ
- 2 වැනි තරගය – ජනවාරි 18 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ
- 3 වැනි තරගය – ජනවාරි 22 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ
මංගල යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිට ම මේ දක්වා ම සක්‍රීය ව සිටින බටහිර ඉන්දීය කොදෙව්වෝ 2016 වසරේ ශූරයන් බවට පත් වීමේ ගෞරවය ද දිනා ගන්නා ලද කණ්ඩායමක්. ඊට අමතර ව ඔවුන් 2004 වසරේ අනුශූරයන් බවට ද පත් වුණා. ඒ පාකිස්තානය හමුවේ පරාජය වීම හේතුවෙනුයි.
ඔවුන් මේ දක්වා යොවුන් ලෝක කුසලාන තරග 94කට සහභාගී වෙමින් ඉන් තරග 57ක් ජයගනිද්දී තරග 35ක් පරාජයට පත් ව තිබෙනවා. ඉතිරි තරග ද්විත්වය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
මෙවර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ නිමා වූ ශ්‍රී ලංකා මෙන් ම එංගලන්ත සංචාරයේ දී ද ලකුණු අතර සිටිමින් දක්ෂතා දැක් වූ Joshua Dorne වෙතයි. ඔහු නිමා වූ එංගලන්ත සංචාරයේ දී යොවුන් එක්දින තරග 7කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 315ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.
නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අතුරින් Tanez Francis සහ Shamar Apple ජපානය හා සමඟ පැවැති පුහුණු තරගයේ දී ශතක ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසීය පිතිකරුවන් බවට පත් වුණා. ඔවුන්ට අමතර ව Jonathan van Lange, Zachary Carter, Matthew Miller සහ Jewel Andrew දක්ෂ පිතිකරුවන් ලෙසින් පෙළගැසී සිටිනවා.
පන්දු යවන්නන් අතුරින් වඩාත් අවධානයට ලක් වූ පන්දු යවන්නා වෙන්නේ ජපානය සමඟ පැවැති පුහුණු තරගයේ දී ලකුණු 8කට කඩුලු 4ක් දවා ගත් R’Jai Gittens වෙතයි. ඔහුට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන Aadian Racha, පා දඟ පන්දු යවන Micah McKenzie සහ ආරම්භක වේග පන්දු යවන Jakeem Pollard ද කොදෙව් ඉනිම ශක්තිමත් කරන පන්දු යවන්නන් ලෙසින් හඳුන්වා තිබෙනවා.
බටහිර ඉන්දීය කොදව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Joshua Dorne (නායක), Jewel Andrew (කඩුලු රකින්නා), Micah McKenzie, Shamar Apple, Shaquan Belle, Zachary Carter, Tanez Francis, R’Jai Gittens, Vitel Lawes, Matthew Miller, Isra-el Morton, Jakeem Pollard, Aadian Racha, Kunal Tilokani, Jonathan van Lange.
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

























