ආසියානු ශූරයන් එක් වෙන C කාණ්ඩය

ICC U 19 Cricket World Cup 2026

9
ICC Men's Under-19 World Cup 2026 - Group c

සිම්බාබ්වේ සහ නැමීබියාවේ දී පැවැත්වෙන 16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරමින් එංගලන්තය, පාකිස්තානය, ස්කොට්ලන්තය සහ සම සත්කාරක සිම්බ්බාවේ කණ්ඩායම් එක් වීමට නියමිතයි. මෙම කාණ්ඩයේ සියලු තරග පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හී Harare ක්‍රීඩාංගණයේදීයි.

මේ එම කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වෙන කණ්ඩායම් පිළිබඳ ව කෙරෙන සොයා බැලීමක්.

එංගලන්තය

එංගලන්තයේ වේග පන්දුවේ බලාපොරොත්තුව James Minto

  • 1 වැනි තරගය – ජනවාරි 16 වැනිදා පාකිස්තානය සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 18 වැනිදා සිම්බාබ්වේ සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 23 වැනිදා ස්කොට්ලන්තය සමඟ

1998 වසරේ දී පැවැති 2 වැනි ලෝක කුසලානයේ හිමිකරුවන් වූ එංගලන්තය කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ ඉන් අනතුරු ව මේ දක්වා එහි නොලැබූ පහස ලබා ගැනීමේ අරමුණෙන්.

ඔවුන් මෙම ශූරතා මාලාවේ දී නැවත වරක් ලෝක කුසලානය ආසන්නයට 2022 වසරේ දී පැමිණිය ද  ඔවුන්ට එවර සිදු වූයේ ඉන්දියාව හමුවේ පරාජයට පත් වෙමින් අනුශූරතාවයට හිමිකම් කීමටයි.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියන් දී ඔවුන් තරග 87කට මුහුණ දී ඇති අතර ඉන් තරග 53ක් ජයග්‍රහණය ලබා ගනිමින් ද තරග 33ක් පරාජය වෙමින් ද අවසන් කරනවා. ඉතිරි තරගය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

එවන් අතීතයකින් සපිරි එංගලන්තයේ මෙවර කණ්ඩායමේ වගකීම හිමි ව ඇත්තේ Thomas Rew වෙතයි. ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ඔහු කණ්ඩායමේ සිටින විශ්වසනීය ම පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා.

ඔහුට අමතර ව Ben Mayes, Joseph Moores, Caleb Falconer සහ Ben Dawkins ද පිතිකරුවන් ලෙසින් නම් වෙමින් කණ්ඩායම හා එක් ව සිටිනවා.

පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායමේ වඩාත් විශ්වසනීයයා වී ඇත්තේ වමතින් මඟ වේග පන්දු යවන James Minto. ඔහු ඉන්දියාව සමඟ පැවැති පුහුණු තරගයේ දී ලකුණු 34කට කඩුලු 5ක දවා ගනිමින් එම විශ්වසනීයත්වය තව දුරටත් තීව්‍ර කළා.

ඔහුට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Sebastian Morgan සහ Manny Lumsden ද, වමතින් දඟ පන්දු යවන්නන් වන Ali Farooq සහ Ralphie Albert ද එංගලන්ත කණ්ඩායම හා එක් ව සිටිනවා.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Thomas Rew (නායක), Ben Dawkins, Isaac Mohammed, Ben Mayes, Farhan Ahmed, Alex Green, Ralphie Albert, Ali Farooq, Caleb Falconer,  Alex French, Luke Hands, Manny Lumsden, James Minto, Joseph Moores, Sebastian Morgan.

පාකිස්තානය

පාකිස්තානයේ පිතිකරු බලඇණියේ ප්‍රධානියා Sameer Minhas.

  • 1 වැනි තරගය – ජනවාරි 16 වැනිදා එංගලන්තය සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 19 වැනිදා ස්කොට්ලන්තය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 22 වැනිදා සිම්බාබ්වේ සමඟ

යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ආරම්භයේ සිට ම තරගාවලිය හා එක් වූ තවත් කණ්ඩායමක් වෙන්නේ පාකිස්තානයයි. ඔවුන් එම කාලයේ දී 2004 සහ 2006 වසර ද්විත්වයේ දී ශූරයන් බවට පත් වෙන්නේ මෙම තරග මාලාවේ මෙතෙක් පිට පිට ශූරතාවයන් දිනා ගත් එක ම කණ්ඩායම ලෙසයි.

ඊට අමතර ව ඔවුන් 1998 වසරේ දී, 2010 වසරේ දී සහ 2014 වසරේ දී අනුශූරයන් බවට ද පත් වෙනවා.

එලෙසින් නිමා වූ ඔවුන්ගේ ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් තරග 91කට මුහුණ දී ඇති අතර ඉන් තරග 66ක් දිනා ගැනීමට සමත් වෙනවා. පරාජිත තරග 24ක් සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර තිබෙනවා.

මෙවර තරගාවලියට එක් වෙන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත්තේ මැද පෙළ පිතිකරු Farhan Yousaf. ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායකයා ද වෙනවා.

කණ්ඩායමේ සිටින වඩාත් ම දක්ෂතා දක්වනු ඇතැයි සිතෙන පිතිකරු වෙන්නේ Sameer Minhas. ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 417ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ පළමු වැනියා වෙමින් එම ගෞරවය දිනා ගෙන තිබෙනවා.

ඊට අමතර ව Ahmed Hussain, උප නායක Usman Khan සහ Huzaifa Ahsan ද දක්ෂ පිතිකරුවෙන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉදියෙන් ම සිටින්නේ දකුණතින් මඳ වේග පන්දු යවන Abdul Subhan වෙතයි. ඔහුට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන Mohammad Sayyam, තවත් දකුණතින් මඳ වේග පන්දු යවන්නෙක් වන  Ali Raza, දකුණතින් පිට දඟ පන්දු යවන Huzaifa Ahsan සහ පා දඟ පන්දු යවන Usman Khan ද විශ්වසනීය පන්දු යවන්නන් ලෙසින් පාකිස්තාන කණ්ඩායම හා එක් ව සිටිනවා.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Farhan Yousaf (නායක), Usman Khan (උප නායක), Ahmed Hussain, Ali Hassan Baloch, Hamza Zahoor (කඩුලු රකින්නා), Huzaifa Ahsan, Mohammad Shayan (කඩුලු රකින්නා), Sameer Minhas, Abdul Subhan, Ali Raza, Daniyal Ali Khan, Mohammad Sayyam, Momin Qamar, Niqab Shafiq.

ස්කොට්ලන්තය

ස්කොට්ලන්තයේ ගැලවුම්කාර තුන් ඉරියව් ක්‍රීඩකයා Ollie Jones.

  • 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා සිම්බාබ්වේ සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 19 වැනිදා පාකිස්තානය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 21 වැනිදා එංගලන්තය සමඟ

1998 වසරේ දී පැවැති යොවුන් ලෝක කුසලානයේ දී පළමු වරට තරගාවලියට එක් වෙන ස්කොට්ලන්තය මේ දක්වා සහභාගී වී ඇත්තේ තරගාවලි 10කට පමණයි. ඒ අතුරින් ඔවුන් ආ ඉහළ ම ස්ථානය වෙනුවෙන් 2012 වසරේ දී ලත් 11 වැනි ස්ථානයයි.

මේ දක්වා ආ ගමනේ දී ඔවුන් තරග 57කට මුහුණ දී ඇති අතර ඉන් තරග 14ක් ජයග්‍රහණය කරද්දී තරග 43ක් පරාජයට පත් ව තිබෙනවා.

මෙවර තරගාවලියට එක් වෙන ස්කොට්ලන්ත කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබෙන්නේ ඉදිරි පෙළ දකුණත් පිතිකරු Thomas Knight. ඔහු මෙන් ම තරගාවලියට එක් වෙන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ම යොවුන් එක්දින ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන පළමු අවස්ථාවයි මේ.

නම් කරන ලද ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ලෙසින් Theo Robinson, Max Chaplin, Finlay Carter, Olly Pillinger සහ කණ්ඩායමේ සිටින වඩාත් ම පළපුරුදු ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක Manu Saraswat ද එක් කර තිබෙනවා.

කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු වන තුන් ඉරියව් ක්‍රීඩකයා වෙන්නේ Ollie Jones.

පන්දු යවන්නන් ලෙසින් පා දඟ පන්දු යවන Finlay Jones, දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන George Cutler, Ethan Ramsay සහ තවමත් 17 වැනි වියේ පසුවෙන Shreyas Tekale නම් කර තිබෙනවා.

ස්කොට්ලන්තය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Thomas Knight (නායක සහ කඩුලු රකින්නා), Ram Sharma, Finlay Carter, Max Chaplin, George Cutler, Rory Grant, Finlay Jones, Ollie Jones, Olly Pillinger, Ethan Ramsay, Theo Robinson,  Manu Saraswat, Shreyas Tekale, Shlok Thaker, Jake Woodhouse.

සිම්බාබ්වේ

සත්කාරක කණ්ඩායමේ විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩකයා Brandon Senzere

  • 1 වැනි තරගය – ජනවාරි 15 වැනිදා ස්කොට්ලන්තය සමඟ
  • 2 වැනි තරගය – ජනවාරි 18 වැනිදා එංගලන්තය සමඟ
  • 3 වැනි තරගය – ජනවාරි 22 වැනිදා පාකිස්තානය සමඟ

සම සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මංගල ලෝක කුසලානයෙන් අනතුරු ව පැවැති සෑම ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වී ඇති අතර ඔවුන් මේතාක් ආ ගමනේ දී දිනා ඇති ඉහළ ම ස්ථානය වෙන්නේ 2004 වසරේ දී දිනූ 6 වැනි ස්ථානයයි.

ඔවුන් ඒතාක් ආ ගමනේ දී තරග 85කට සහභාගී වී ඇති අතර ඉන් තරග 37ක් ජයග්‍රහණය කරනවා. ඉතිරි තරග 48 නිමා වී ඇත්තේ පරාජිත තරග ලෙසයි.

මෙවර තරගාවලියට එක් වෙන සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය මැද පෙළ පිටියට පිවිසෙන සහ ආරම්භක වේග පන්දු යවන දෙදෙනාගෙන් කෙනෙත් ලෙසත් කටයුතු කරන  Simbarashe Mudzengerere නම් කර තිබෙනවා.

එමෙන් ම නම් කරන ලද මෙම කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරු ලෙසින් අවධානය දිනා ඇත්තේ තවමත් 17 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු Brandon Senzere. ඔහු නවසීලන්තය සමඟ පැවැති පුහුණු තරගයේ දී නොදැවී අර්ධ ශතකයක් ද ලබා ගන්නවා.

ඔහුට අමතර ව Kupakwashe Muradzi, Leeroy Chiwaula, Takudzwa Makoni, Dhruv Patel සහ Kian Blignaut පිතිකරු ලැයිස්තුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම හා එක් වෙනවා.

පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන Shelton Mazvitorera. ඔහුට අමතර ව තවත් දකුණතින් මඳ වේග පන්දු යවන Leeroy Chiwaula මෙන් ම වමතින් දඟ පන්දු යවන්නන් වන Benny Zuze සහ Brandon Senzere ද මෙම කණ්ඩායමට ඇතුලත්.

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Simbarashe Mudzengerere (නායක), Kupakwashe Muradzi (කඩුලු රකින්නා), Nathaniel Hlabangana, Kian Blignaut, Michael Blignaut, Tatenda Chimugoro, Leeroy Chiwaula, Dhruv Patel, Webster Madhidhi, Takudzwa Makoni, Panashe Mazai, Shelton Mazvitorera, Brandon Ndiweni, Brandon Senzere, Benny Zuze.

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<