ලෝක කුසලානයේ තවත් පුහුණු තරග 4ක් අවසන් වේ

ICC Men's T20 World Cup Warm-up Matches

2
ICC Men's T20 World Cup Warm-up Matches - 04th February

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරග 4ක් අද (4) අවසන් වූ අතර එහි දී නැමීබියාව, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

මේ අතර අද කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතව තිබු අයර්ලන්තය සහ පාකිස්තානය අතර තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙනවා.

>>ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඕමානයට පරාජය වෙයි<<

නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර තරගය

Bengaluru හී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නැමීබියා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 226ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 220ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jan Frylinck. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තා.

ඊට අමතර ව Louren Steenkamp පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 65ක දී ලකුණු 137ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඉනිම අවසන් වෙන විට Gerhard Erasmus පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් තිදෙනෙක් අතරේ කඩුලු ත්‍රිත්වයක් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Brandon McMullen. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තා.

ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් Mark Watt සමඟ එක් වෙමින් පන්දු 43ක දී ලකුණු 92ක් ද සහ 3 වැනි කඩුල්ල වෙනුවෙන් නායක Richie Berrington සමඟ එක් වෙමින් පන්දු 26ක දී ලකුණු 45ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Richie Berrington පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ද සහ Mark Watt පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Max Heingo ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නැමීබියාව – කඩුලු 4ක් දැවී 226 (20.0) Louren Steenkamp 51, Jan Frylinck 88, Gerhard Erasmus නොදැවී 33, JJ Smit 22, Ruben Trumpelmann 25
  • ස්කොට්ලන්තය – කඩුලු 5ක් දැවී 220 (20.0) Mark Watt 33, Brandon McMullen 95, Richie Berrington 46, Tom Bruce 20, Max Heingo 2/44

නැමීබියාවට ලකුණු 6ක ජයක්.

ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය

Bengaluru හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ඉනිම ආරම්භ කළ Rahmanullah Gurbaz සහ Ibrahim Zadran එක් ව පළමු කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා. එහි දී  Rahmanullah Gurbaz පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43කට දැවී යනවා.

Ibrahim Zadran පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් රැස් කරගෙන සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී යනවා. ඔවුන්ට අමතර ව Azmatullah Omarzai පන්දු 15ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුවා.

කඩුලු දවා ගැනීමේ දී Roston Chase සහ Gudakesh Motie කඩුල්ල බැගින් දවා ගත් අතර ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 159කට සීමා වූවා. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ කඩුලු 7ක් අහිමි වී තිබූ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වී සිටියේ Matthew Forde. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.

ඊට අමතර ව Rovman Powell පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී Mujeeb Ur Rahman සහ Azmatullah Omarzai කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 182 (20.0) Rahmanullah Gurbaz 43, Ibrahim Zadran 51, Darwish Rasooli 27, Azmatullah Omarzai නොදැවී 35,
  • බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 7ක් දැවී 159 (20.0) Rovman Powell 32, Jason Holder නොදැවී 25, Matthew Forde නොදැවී 52, Azmatullah Omarzai 2/33, Mujeeb Ur Rahman 2/19

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය

Navi Mumbai හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 240ක් ලබා ගන්නවා.

ඊට පිළිතුර ඉනිමට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගැනීමේ හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 210ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ishan Kishan. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිමින් ඉනිම අතර මඟ දී පිටිය හැර යනවා.

ඊට අමතර ව Tilak Varma පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ද, Axar Patel පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයෙ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද, නායක Suryakumar Yadav පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ Hardik Pandya පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නෝ තිදෙනෙක් විසින් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ryan Rickelton. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

ඔහු නායක Aiden Markram සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 65ක සබඳතාවක් ද ගොඩ නගනවා. Aiden Markram පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් අතරමඟ දී ඉනිම හැර යනවා.

ඊට අමතර ව දකුණු අප්‍රිකා ඉනිම අවසන් වෙද්දී Tristan Stubbs පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තා. ඊට අමතර ව Jason Smith පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ද සහ Marco Jansen පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Abhishek Sharma ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – කඩුලු 5ක් දැවී 240 (20.0) Ishan Kishan 53, Abhishek Sharma ඉනිම හැර ගියා 24, Tilak Varma 45, Suryakumar Yadav 30, Axar Patel නොදැවී 35, Hardik Pandya 30
  • දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී 210 (20.0) Aiden Markram 38, Ryan Rickelton 44, Jason Smith 35, Tristan Stubbs නොදැවී 45, Marco Jansen 31, Abhishek Sharma 2/32

ඉන්දියාවට 30ක ජයක්.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<