2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අයර්ලන්තය සමඟින් අද (08) වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
අයර්ලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට එක් වෙන 9 වැනි අවස්ථාව මෙයයි. ඔවුන් මේ දක්වා මෙම තරගාවලියේ පැමිණි ඉහළ ම ස්ථානය වනුයේ 2009 වසරේ දී සුපිරි 8 වටය නියෝජනය කිරීමට හැකි වීමයි.
ඔවුන් මේ දක්වා ලෝක කුසලාන ඉතිහාසයේ තරග 30කට සහභාගී වී ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණක් වන අතර තරග 3ක් විසඳුමකින් තොරව ද සහ තවත් තරග ද්විත්වයක් අතහැර දමා ඇති තරග ලෙසින් ද එක් ව තිබෙනවා. පරාජිත තරග සංඛ්‍යාව 18ක්.
මෙවර තරගාවලියට එක් වෙන්නට පෙර ඔවුන් ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඩුබායි හි දී සාර්ථක තරගාවලි ද්විත්වයක් අවසන් කරනවා. එහි දී ඔවුන් ඉතාලියට එරෙහි ව තරග 2-1ක් ද සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.
අයර්ලන්තය – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග ඉතිහාසය ලෙසින් මෙතෙක් ලියැවී ඇත්තේ 2009, 2021 සහ 2022 ලෝක කුසලාන තරග ත්‍රිත්වයකදී හමු වූ තරගවල දී පමණයි. එම තරග ත්‍රිත්වයෙන් ම ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.
- පාකිස්තානයට සහ ඉන්දියාවට වෘත්තීය නිපුණතාව වාසියට හිටී
- T20 ලෝක කුසලානයේ ඉතිහාසය
- එංගලන්තය විශිෂ්ට ජයක් කරා!
මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වෙන අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරු, අයර්ලන්තය වෙනුවෙන් මේ වෙද්දී වැඩිම ලකුණු ලබා ඇති Paul Stirling වෙතයි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කර ඇති ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව නොදැවී වාර්තා කරන ශතකයක් සහ තවත් අර්ධ ශතක 24ක් සමඟින් මේ දක්වා ලකුණු 3888ක් ලබා සිටිනවා. අත්‍යවශ්‍ය ම අවස්ථාවක දී පන්දු යැවීමට ද ඉදිරිපත් වෙන ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 20ක්.
2019 වසරේ සිට මේ දක්වා වරින් වර තරග 46කට නායකත්වය දක්වා ඇති Paul Stirling ඉන් තරග 20ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර තවත් තරග ද්විත්වයක් විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා. ඉතිරි තරග නිමා වී ඇත්තේ පරාජිත තරග ලෙසයි.
අයර්ලන්තය මේ දක්වා සහභාගී වී ඇති සෑම තරගාවලියක දී ම Paul Stirling කණ්ඩායමේ අසුනක් දිනා ගැනීම කැපී පෙණෙනවා. ඒ අනුව ඔහු මේ දක්වා අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ලෝක කුසලාන තරග 24කට එක් ව තිබෙන අතර එහි දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 419ක්.
කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතුරින් මේ වෙද්දී වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18කට පමණක් ක්‍රීඩා කර ඇති ඉදිරි පෙළ දකුණත් පිතිකරු Ross Adair වෙතයි. නිමා වූ ඩුබායි සංචාරයේ දී තරමක් අසාර්ථක පිතිකරුවෙක් බවට පත් වූව ද කණ්ඩායම් කළමණාකාරීත්වයේ විශ්වාසය රැක ගැනීමට ඔහු සමත් ව තිබෙනවා.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ අතලොස්සක් වූ ශතකලාභී අයර්ලන්ත පිතිකරුවන් අතරට ඔහු ද ඇතුලත් ව ඇති අතර මේ වෙද්දී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 443ක්.
ඔහුට අමතර ව අයර්ලන්ත ඉනිමේ වඩාත් භයානක සුසංයෝගය ලෙසින් හැඳින්වෙන්නේ Harry Tector සහ කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි ව ඇති Lorcan Tucker.
26 හැවිරිදි වියේ පසුවෙන Harry Tector විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 95ක දී අර්ධ ශතක 8ක් සමඟින් මේ වෙද්දී ලකුණු 1791ක් ලබා ඇති අතර Lorcan Tucker විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88කට සහභාගී වෙමින් අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1591ක් ලබා සිටිනවා.
අයර්ලන්ත ඉනිමේ වඩාත් භයානක සුසංයෝගය Lorcan Tucker සහ Harry Tector
ඊට අමතර ව කණ්ඩායමට එක් ව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 139ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉතිහාසයේ වැඩිම විස්සයි විස්ස කඩුලුලාභියා වී සිටින Mark Adair ද මෙම කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටිනවා. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු මේ වන විට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 822ක්.
එමෙන් ම විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1303ක් සහ කඩුලු 87ක් ලබා සිටින George Dockrell, විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1178ක් සහ කඩුලු 58ක් ලබා සිටින Gareth Delany මෙන් ම Curtis Campher අයර්ලන්ත කණ්ඩායමේ සිටින සුවිශේෂී ක්‍රීඩකයන් ලෙසින් නම් දරා සිටිනවා.
පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් ව ඇති ක්‍රීඩකයන් අතර විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 82ක් හිමි වමතින් මඳ වේග පන්දු යවන Josh Little, විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 69ක් හිමි දකුණතින් මඳ වේග පන්දු යවන Barry McCarthy සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 87ක් හිමි දකුණතින් මඳ වේග පන්දු යවන Craig Young වෙත වඩාත් අවධානය යොමුව ඇති අතර පා දඟ පන්දු යවන Ben White ද තරගයක තීරණය වෙනස් කළ හැකි පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්වෙනවා.
ඔවුන්ට අමතර ව 23 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Matthew Humphreys ද අයර්ලන්ත කණ්ඩායම උපයෝගී කර ගත හැකි ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි.
අයර්ලන්ත සංචිතය
Paul Stirling (නායක), Ross Adair, Harry Tector, Lorcan Tucker (කඩුලු රකින්නා), Curtis Campher, Benjamin Calitz, George Dockrell, Gareth Delany, Mark Adair, Barry McCarthy, Josh Little, Matthew Humphreys, Tim Tector, Ben White, Craig Young.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















