10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගවල දී සත්කාරකයන් වන ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට පරාජයන් විඳ ගැනීමට සිදු වූවා.
මෙරට දී පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 51ක පරාජයකට මුහුණ දෙද්දී, ඉන්දියාවේ දී පැවැති ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ඉන්දියාව ලකුණු 76ක පරාජයකට මුහුණ දුන්නා.
ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!
43 වැනි තරගය (රාත්‍රී), Super 8s, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර
Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.
ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 20ක් වෙද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වෙනවා. මේ වෙද්දී නිමා වී තිබුණේ ද පන්දුවාර 4ක් පමණයි.
දකුණු අප්‍රිකාව මේ වැටී සිටි අමාරුවෙන් ගොඩ ඒ මේ මං සොයමින් සිටිය දී Dewald Brevis සහ David Miller එක් ව ඉන්දීය පන්දු යවන්නන්ගේ ආදිපත්‍ය බිඳ දැමුවා. ඔවුන් සිව් වැනි කඩුල්ලේ සබඳතාවයේ ආරම්භය ලබා ගන්නේ මුහුණ දුන් පළමු පන්දු 18 දී ම ලකුණු 32ක් ලබා ගනිමිනුයි.
එලෙසින් ආරම්භ කළ ඔවුන්ගේ සබඳතාව පන්දු 50ක දී ලකුණු 97ක් දක්වා රැගෙන ගියා. එම සබඳතාවේ දී ඔවුන් දෙදෙනා එක් ව හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් එක් කළ අතර සබඳතාව බිඳ වැටෙන්නේ Dewald Brevis ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
අනතුරු ව ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් David Miller දැවී යන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 152 රැඳී තිබූ අතර ඒ වෙද්දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් ව සිටියා. පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63කට David Miller ගේ ඉනිම අවසන් වෙනවා.
දකුණු අප්‍රිකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් සමඟින් එක් කළ ලකුණු 20ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගැනීමට Tristan Stubbs සමත් වෙනවා. ඔහුගේ ඉනිම පන්දු 24කින් සමන්විත වූ අතර ඊට හයේ පහර 3ක් සහ හතරේ පහරක් ඇතුලත් වුණා.
කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 187ක් ව තිබූ දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු අතුරින් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගැනීමට Jasprit Bumrah සමත් වෙනවා. ඊට අමතර ව Arshdeep Singh කඩුලු ද්විත්වයක් ද, Shivam Dube සහ Varun Chakravarthy කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- සුපිරි 8 පළමු තරගය වර්ෂාවට බිලි වෙයි
- ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ජය ලබයි
- Run Out එකක් කළ හදියක්
- පාකිස්තානයට සහ ඉන්දියාවට වෘත්තීය නිපුණතාව වාසියට හිටී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ඉනිම ලකුණු 111කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වෙනවා. ඔවුන් එම ආරම්භය ලබා ගන්නේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 5කට සීමා කරමින් සහ Keshav Maharaj විසින් යැවුණ 15 වැනි පන්දුවාරයේ දී Hardik Pandya (18), Rinku Singh (0) සහ Arshdeep Singh (1) දවා ගනිමිනුයි. ඒ වෙද්දී ඉන්දීය ලකුණු පුවරුවේ ලකුණු ක්‍රියාත්මක තිබුණේ 86 සිට 88 දක්වායි.
අනතුරු ව ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු ද්විත්වය ද පිට පිට යැවුණ පන්දු 2ක දී දවා ගැනීමට Marco Jansen සමත් වෙනවා. ඒ අනුව තවත් පන්දු 7ක් ද ඉතිරි ව අවසන් වූ ඉන්දීය ඉනිමේ කඩුලු 4ක් ලකුණු 22කට දවා ගනිමින් ඉනිමේ මෙන් ම තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Marco Jansen සමත් වුණා.
ඊට අමතර ව Keshav Maharaj ලකුණු 24කට කඩුලු 3ක් ද, Corbin Bosch ලකුණු 12කට කඩුලු 2ක් ද සහ Aiden Markram කඩුල්ලක් ලෙසින් ද දවා ගත්තා.
පරාජිත ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Shivam Dube. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක Suryakumar Yadav සහ Hardik Pandya ලකුණු 18ක් බැගින් ලබා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී 187 (20.0)Dewald Brevis 45, David Miller 63, Tristan Stubbs නොදැවී 44, Arshdeep Singh 2/28, Jasprit Bumrah 3/15
ඉන්දියාව -සියලුම දෙනා දැවී 111 (18.5) Shivam Dube 42, Marco Jansen 4/22, Keshav Maharaj 3/24, Corbin Bosch 2/12
දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 76ක ජයක්.
- තරගයේ වීරයා – David Miller (දකුණු අප්‍රිකාව)
තරගාවලියේ අද (23) පැවැත්වෙන තරගය
රාත්‍රී7.00 ට සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර Mumbai හී Wankhede ක්‍රීඩාංගණයේ දී.
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















