Home Sinhala ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!

ICC Men's T20 World Cup 2026

2
sri lanka vs Australia
sri lanka vs Australia

2026 විස්සයි විස්ස ලෝක කුසාලනයේ සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (16) රාත්‍රියේ දී සමත් වුනා.

මෙවර ලෝක කුසලානයේ සිය තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව ඊයේ දිනයේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග බිමට පිවිසුණු අතර, තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට අවතීර්ණ වුනා.

මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ නායක Mitchell Marsh සහ Travis Head දෙදෙනා විසින් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පන්දුවාර 8 පන්දු තුනක් තුළ ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඕමානය සමඟ තරගයේ දී තරමක දුර්වල පන්දු යැවීමක නිරත වූ දුශාන් හේමන්ත ඊයේ පන්දුව අතට ගනිමින් ඕස්ට්‍රේලියාවට අභියෝග කිරීම ආරම්භ කළ අතර, ඔහුගේ පන්දුවක් හමුවේ Headගේ ඉනිම ලකුණු 56කට සීමා වුනා. පන්දු 29කින් වාර්තා වූ මෙම ඉනිම හතරේ පහර 7කිම් සහ හයේ පහර 3කින් වර්ණවත් වුනා.

මෙම කඩුල්ල බිඳ වැටීමත් සමඟ එතෙක් වෙලා ඕස්ට්‍රේලියාව පවත්වා ගෙන ආ ප්‍රහාරාත්මක පිතිකරණය ද යම් පමණකින් අඩාළ වූ අතර, ඉන් මොහොතකට පසුව නැවත ක්‍රියාත්මක වූ හේමන්ත විසින් ඕස්ට්‍රේලියානු නායකයා ද ලකුණු 54කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. ඔහු පන්දු 27ක් පමණක් වැය කරමින්, හතරේ පහර 08ක් සහ හයේ පහර 02ක් සමඟ මෙම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම තරගය අතරතුර ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේග පන්දු තුරුම්පුවක් වන මතීෂ පතිරණ පාදයේ ආබාධයකට ලක් වීම සමඟ පන්දු හතරක් පමණක් ක්‍රියාත්මක කර පිටියෙන් ඉවත් වුනා. මෙය ශ්‍රී ලංකාවට අතිශය අසීරු අවස්ථාවක් බවට පත් වූ නමුත්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් දිගින් දිගටම සිය ග්‍රහණය ගිළිහීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

මින් අනතුරුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරමක් හෝ සාර්ථක පිතිකරණයක නියැලීමට සමත් වුනේ Jos Inglis (27) සහ Glenn Maxwell (22) පමණයි. නමුත් ඔවුන්ට ද පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙහි දී Maxwell දවා ගැනීම සඳහා නිස්සංක විසින් රැක ගත් උඩ පන්දුව පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කළ යුතු අතර, එය මෙවර තරගාවලියේ හොඳම උඩපන්දු අතරට අවිවාදයෙන් තොරව එක් කළ හැකි.

එමෙන්ම මහීෂ් තීක්ෂණ ද තවත් විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක නිරත වූ අතර, මෙම සියලු දක්ෂතා සමඟින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට නැවත නැගී සිටීමට අවස්ථාවක් ලබා නොදීමට සමත් වුනා.

මේ අනුව නියමිත පන්දුවාර 20 තුළ ඕස්ට්‍රේලියාව විසින් සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 181ක් පමණයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ දුශාන් හේමන්ත කඩුලු 3ක් බිඳ හෙළනා අවස්ථාවේ, දුශ්මන්ත චමීර කඩුලු දෙකකුත්, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගිනුත් දවා ගැනීමට සමත් වුනා.

මින් අනතුරුව ලකුණු 182ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට අවතීර්ණ වුනා.

මෙහි දී මීට පෙර තරගවල දී පැතුම් සමඟ ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු කමිල් මිශාර වෙනුවට කුසල් පෙරේරා මෙවර ඉනිම ආරම්භ කිරීමේ වගකීම බාර ගත්ත ද ඔහු ලබා ගැනීමට සමත් වුනේ එක් ලකුණක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටීමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිටියේ එක් වුනා.

මෙහි දී පැතුම් සහ කුසල් දෙදෙනා විසින් පන්දු 66ක් තුළ ලකුණු 97ක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙහි දී මෙන්ඩිස්ගේ දායකත්වය පන්දු 28කින් ලකුණු 31ක් ලෙස සටහන් වුනා.

මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, ඔහු පැතුම් නිස්සංක සමඟ ශ්‍රී ලංකා ඉනිමට අත්‍යාවශ්‍ය ව තිබූ ශක්තිමත් අඩිතාලම සකසා දීමට සමත් වුනා.

මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව පැතුම් සහ පවන් කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා ද නොනැවතී සිය ප්‍රහාරය ඕස්ට්‍රේලියාවට එල්ල කිරීමට සමත් වුනා.

මෙහි දී පවන් ඉතා නුවණක්කාර අයුරින් පන්දුවට පහර දෙමින් පන්දු 15කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු සහ පැතුම් පන්දු 34ක් පමණක් වැය කරමින් ලකුණු 79ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා.

මේත් සමඟින් ම ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් නිමා වන විට අදාළ ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී හඹා යාමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූ පැතුම්ගේ පිත්තෙන් ශතකයක් වාර්තා වුනා.

පන්දු 52ක් පමණක් වැය වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 192.30ක් ලෙස සටහන්ව තිබුණා.

කඩුලු 8ක ජයක් ලෙස සටහන් වූ මෙම ජයත් සමඟින් ශ්‍රී ලංකාව විසින් වසර 17කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලාන ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම මේ සමඟම ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතරම, ඕස්ට්‍රේලියාවට මූලික වටයෙන්ම ඉවතට විසි වීමට ද (බොහෝ දුරට, සිම්බාබ්වේ කණ්ඩායමේ ඉදිරි තරග ප්‍රතිඵල අනුව ඕස්ට්‍රේලියාවට තවමත් ඉතා සුළු අවස්ථාවක් පමණක් ඉතිරිව පවතිනවා) සිදු වුනා.

මෙම තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක විසින් සම්මාන ලබාගත්තා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 19 වැනි දා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result
Australia
181/10 (20)
Sri Lanka
184/2 (18)
Batsmen R B 4s 6s SR
Mitchell Marsh lbw b Dushan Hemantha 54 27 8 2 200.00
Travis Head c Kamindu Mendis b Dunith Wellalage 56 29 7 3 193.10
Cameron Green st Kusal Mendis b Dunith Wellalage 3 7 0 0 42.86
Tim David  c Dushan Hemantha b Kamindu Mendis 6 5 1 0 120.00
Josh Inglis c Dunith Wellalage b Dushmantha Chameera 27 23 3 0 117.39
Glenn Maxwell c Pathum Nissanka b Dushan Hemantha 22 15 1 1 146.67
Marcus Stoinis c Maheesh Theekshana b Dushmantha Chameera 4 6 0 0 66.67
Cooper Connolly c Kusal Perera b Maheesh Theekshana 3 4 0 0 75.00
Xavier Bartlett run out (Kusal Mendis) 0 3 0 0 0.00
Nathan Ellis not out 0 2 0 0 0.00
Adam Zampa run out (Kusal Mendis) 1 1 0 0 100.00
Extras 5 (b 0 , lb 0 , nb 1, w 4, pen 0)
Total 181/10 (20 Overs, RR: 9.05)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 36 2 9.00
Maheesh Theekshana 4 0 37 1 9.25
Matheesha Pathirana 0.4 0 9 0 22.50
Dasun Shanaka 1.2 0 16 0 13.33
Dushan Hemantha 4 0 37 3 9.25
Dunith Wellalage 4 0 33 1 8.25
Kamindu Mendis 2 0 19 1 9.50

Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 100 52 10 5 192.31
Kusal Perera c Nathan Ellis b Marcus Stoinis 1 3 0 0 33.33
Kusal Mendis c Cooper Connolly b Marcus Stoinis 51 38 6 1 134.21
Pavan Rathnayake not out 28 15 6 0 186.67
Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 184/2 (18 Overs, RR: 10.22)
Bowling O M R W Econ
Xavier Bartlett 2 0 22 0 11.00
Marcus Stoinis 4 0 46 1 11.50
Nathan Ellis 3 0 32 0 10.67
Cooper Connolly 3 0 27 0 9.00
Adam Zampa 4 0 41 0 10.25
Glenn Maxwell 2 0 16 0 8.00

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<