මහනුවර වැස්ස ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් පිටමං කරයි

3
ICC Men's T20 World Cup 2026

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (17දා) අවසන් වූ අතර එහි දී සුපිරි 8 වටයට එක් වීමේ ඕස්ට්‍රේලියානු සිහිනය, මහනුවර වැස්ස විසින් බිඳ දැමුවා.

පැවැති වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පැවැති තරගය එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර ඒ අනුව එම කණ්ඩායම් ද්විත්වයට ප්‍රසාද ලකුණ බැගින් ප්‍රදානය කෙරුණා.

සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණ ප්‍රසාද ලකුණත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඕස්ට්‍රේලියාවට ළඟා විය නොහැකි කඩඉමකට යමින් සුපිරි 8 වටයේ අසුනක් වෙන්කර ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මේ අතර එදින පැවැති අනෙක් තරගවල දී නවසීලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා. නේපාලය මේ ලබා ගන්නේ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණයයි.

>>වාර්තා රැසක් සමඟින් සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව පරාජය කරයි<<

31 වැනි තරගය, Group D, නවසීලන්තය සහ කැනඩාව අතර                                    

Chennai හී MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ප්‍රතිවාදීන් නොහිතූ ඉනිමක් ආරම්භ කළා.

ඊට එක් වූයේ ආරම්භක පිතිකරුවන් වූ Yuvraj Samra සහ Dilpreet Bajwa. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 86ක දී ලකුණු 116ක සබඳතාවක් ගොඩ නගනවා. ඔවුන් තම ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 36ක දී ද සහ 2 වැනි ලකුණු 50 තවත් පන්දු 40ක දී ද එක් කරනවා.

Dilpreet Bajwa පන්දු 39ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව වාර්තා කරන ලද ලකුණු සබඳතාව විස්සයි විස්ස ලෝක කුසලාන කැනඩා තරග ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සබඳතාවයි.

එමෙන් ම විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ කැනඩාව වෙනුවෙන් මංගල ශතකය වාර්තා කළ 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Yuvraj Samra ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා.

ඔහු දැවී යෑමට ප්‍රථම Navneet Dhaliwal (10) සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ල සඳහා පන්දු 22ක දී ලකුණු 37ක සබඳතාවක් ද එක් කරන අතර නේපාල ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් කරන්නේ කඩුලු 2කට ලකුණු 176ක් ලබා ගනිමිනුයි.

කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 30 දී දැවී යනවා. ඉන් අනතුරු ව පිටියේ එක් වූ Rachin Ravindra සහ Glenn Phillips එක් ව 3 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 146ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ ඉනිමේ තවත් පන්දු 29ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එහි දී Glenn Phillips පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ද සහ Rachin Ravindra පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද ලබා ගන්නවා.

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය Saad Bin Zafar සහ Dilon Heyliger අතරේ බෙදී යනවා.

එම තරගයත් සමඟින් නවසීලන්තය D කාණ්ඩයේ පළමු වටයේ තරග අවසන් කරන ලද අතර ඔවුන් තරග 4කට සහභාගී වෙමින් තරග ත්‍රිත්වයක් ජයග්‍රාහී තරග ත්‍රිත්වයක ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් එහි 2 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කැනඩාව – කඩුලු 4ක් දැවී 173 (20.0) Yuvraj Samra 110, Dilpreet Bajwa 36

 

නවසීලන්තය – කඩුලු 2ක් දැවී 176 (15.1) Finn Allen 21, Rachin Ravindra නොදැවී 59, Glenn Phillips නොදැවී 76

නවසීලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

 තරගයේ වීරයා – Glenn Phillips (නවසීලන්තය)

32 වැනි තරගය (දිවා/රාත්‍රී), Group B, සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය අවසන් කිරීමට සිදු වෙන්නේ එකඳු හෝ පන්දුවක් නොයවමිනුයි. දිනය පුරා ඇද හැළුණු වැස්ස එක් අවස්ථාවක දී පමණක් ක්‍රීඩාංගණයේ අතුරා තිබූ වැසි ආවරණ තුනෙන් එකක් පමණක් ඉවත් කිරීමට අවස්ථාව සලසා දුන්නා.

නමුත් ඒ හා සමඟ ම වැටුණ පොද වැස්ස හේතුවෙන් නැවතත් වැසි ආවරණ ක්‍රීඩාංගණයේ ඇතිරුණ අතර ඉන් අනතුරු ව තරගය ආරම්භ කිරීමට යම්තම් හෝ ඉඟියක් ලබා නොදීමට අයහපත් කාලගුණය වග බලා ගත්තා.

ඒ අනුව නතර වූ තරගයේ ප්‍රසාද ලකුණ බැගින් කණ්ඩායම් ද්විත්වයට ප්‍රදානය කෙරුණ අතර B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි 8 වටයට අවහිරයකින් තොරව යෑමට එම තීරණය මඟ පෑදුණා.

ඔවුන් මේ වන විට තරග 3කට සහභාගී වී තරග 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් ව සිටින අතර තරග 4 ම අවසන් කළ අයර්ලන්තය ප්‍රසාද ලකුණු 3ක් ලබා 3 වැනි ස්ථානයේත් සහ ඕස්ට්‍රේලියාව තවත් තරගයක් අතැතිව ප්‍රසාද ලකුණු 2ක් ලබා සිව් වැනි ස්ථානයේ පසුවෙනවා. ඔවුන්ට එළැඹෙන ඕමානය සමඟ තරගය ජය ගත්ත ද හිමි වෙන ප්‍රසාද ලකුණු 2ත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ යා හැකි දුර වන්නේ 3 වැනි ස්ථානය දක්වා පමණයි.

33 වැනි තරගය (රාත්‍රී), Group C, ස්කොට්ලන්තය සහ නේපාලය අතර

Mumbai හී Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නේපාල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී පන්දු 4ක් ද ඉතිරි කර ගනිමින් සපුරා ගැනීමට නේපාල ක්‍රීඩකයෝ  සමත් වෙනවා. ඒ ඔවුන් මෙවර තරගාවලියේ ලත් පළමු ජයග්‍රහණයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Michael Jones පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.

ඔහු අනෙක් ආරම්භක පිතිකරු George Munsey සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කරනවා. එහි දී George Munsey පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

අනතුරු ව 2 වැනි කඩුල්ල සඳහා පන්දු 32ක දී ලකුණු 52ක් ද එක් වෙනවා. එහි දී Michael Jones සමඟ එක් වෙන්නේ Brandon McMullen. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Sompal Kami ලකුණු 25කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Nandan Yadav කඩුලු ද්විත්වයක් ද, Rohit Paudel සහ Kushal Bhurtel කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ජයග්‍රාහී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නෙ Dipendra Singh Airee. ඔහු පන්දු 23ක් පමණක් උපයෝගී කර ගනිමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගන්නේ Gulsan Jha සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 36ක දී නොදැවුණ ලකුණු 73ක සබඳතාවක් ද එක් කරමින්.

එහි දී Gulsan Jha පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරුවන් වූ Kushal Bhurtel පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද සහ Aasif Sheikh පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු වැනි කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 74ක් එක් කරමින් තම කණ්ඩායමට හොඳ ආරම්භයක් ද ලබා දෙනවා.

කඩුලු දවා ගැනිමේ දී දැවී ගිය කඩුලු ත්‍රිත්වය ම Michael Leask සතු කර ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ස්කොට්ලන්තය – කඩුලු 7ක් දැවී 170 (20.0) George Munsey 27, Michael Jones 71, Brandon McMullen 25, Sompal Kami 3/25, Nandan Yadav 2/34

 

නේපාලය – කඩුලු 3ක් දැවී 171 (19.2) Kushal Bhurtel 43, Aasif Sheikh 33, Dipendra Singh Airee නොදැවී 50, Gulsan Jha නොදැවී 24, Michael Leask 3/30

නේපාල කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • තරගයේ වීරයා – Dipendra Singh Airee (නේපාලය)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<