Run Out එකක් කළ හදියක්

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup 2026

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ (11) අවසන් වූ අතර එහි දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සුපිරි පන්දුවාර තරග ද්විත්වයකට සහභාගී වෙමින් ඇෆ්ගනිස්තානුවෝ පරාජයට පත් කළා.

ඔවුනොවුන් අතර පැවැති ප්‍රධාන තරගය අවසන් වෙන්නේ ලකුණු 187-187ක් ලෙසින් සම තත්ත්වයේ තිබිය දී වන අතර පළමු සුපිරි පන්දුවාර තරගය ද ලකුණු 17-17ක් ලෙසින් සම තත්ත්වයේ පවතිමින් අවසන් වෙනවා. ඉන් අනතුරු ව පැවැති 2 වැනි සුපිරි පන්දුවාරයේ දී 23-19ක් ලෙසින් අවසන් වෙන්නේ දකුණු අප්‍රිකාවනුවන්ට ජය හිමි වෙමින්.

එම තරගයට අමතර ව පැවැති අනෙක් තරග ද්විත්වයේ දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරනවා.

13 වැනි තරගය, Group D, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය

ඉන්දියාවේ Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ විසඳුම සුපිරි පන්දුවාර තරග ද්විත්වයකින් සමන්විතව අවසන් වූ අතර තරගයේ ජයග්‍රහණය හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ද එම ලකුණු ප්‍රමාණයේ දී ම සියලුම දෙනා දැවී ගියා.

අනතුරු ව පැවැති සුපිරි පන්දුවාරයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ ලකුණු 17ක් බැගින් ලබා ගනිමින් තරගය නැවත සම තත්ත්වයෙන් විසඳූ අතර ඒ අනුව පැවැති 2 වැනි සුපිරි පන්දුවාරයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 23ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 19ක් පමණයි.

තරගය ආරම්භයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ryan Rickelton. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Quinton de Kock ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Azmatullah Omarzai ලකුණු 41කට කඩුලු 3ක් ද සහ Rashid Khan ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගත්තා.

ලකුණු සම වූ පිළිතුරු ඉනිමේ දී Rahmanullah Gurbaz පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 84ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූණා.

තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරයේ දී ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් අවශ්‍ය වූ අතර නිපන්දු 2ක්, සීමා ව ඉක්මවා ගිය පන්දුවකින් හිමි වූ ලකුණක් සහ හයේ පහරක් ද සමඟින් ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 12ක් පමණයි.

ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් තිබිය දී ලකුණු 11ක් ලබා සිටි ඔවුන්ට අවසන් කඩුල්ලේ දී අවශ්‍ය වූයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 2ක් පමණයි. යැවුණ සිව් වැනි පන්දුවේ දී තවත් ලකුණක් පමණක් ඉනිමට එක් වෙද්දී එක් අන්තයක සිටි Fazalhaq Farooqi දුවද්දී දවා ගැනීමකට Marco Jansen සහ  Kagiso Rabada එක් ව සමත් වෙනවා.

ඒ අනුව ලකුණු සම වූ එම තරගයේ තීරණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එම පන්දුවාරයේ දී ඇෆ්ගනිස්තානුවෝ හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිම ද හයේ පහර 2කින් සහ හතරේ පහරකින් සමන්විත ලකුණු 7ක් බවට පත් වුණා.

එම පන්දුවාරයේ දී ද ලකුණු සම වීමෙන් නැවත සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එම පන්දුවාරයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ හයේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ ඉනිම හයේ පහර 3කින් සමන්විත වූ ලකුණු 19කින් අවසන් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී 187 (20.0) Quinton de Kock 59, Ryan Rickelton 61, Dewald Brevis 23, David Miller 20, Azmatullah Omarzai 3/41, Rashid Khan 2/28

 

ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 187 (19.4) Rahmanullah Gurbaz 84, Azmatullah Omarzai 22, Rashid Khan 20, Lungi Ngidi 3/26

තරගයේ විසඳුමක් නෑ. (ලකුණු සමයි.)

1 වැනි සුපිරි පන්දුවාර තරගය

  • ඇෆ්ගනිස්තානය – කිසිවෙක් නොදැවී 17 (1.0) Azmatullah Omarzai නොදැවී 16
  • දකුණු අප්‍රිකාව – කඩුල්ලක් දැවී 17 (1.0) Tristan Stubbs නොදැවී 10, Fazalhaq Farooqi 1/17

තරගයේ විසඳුමක් නෑ. (ලකුණු සමයි.)

2 වැනි සුපිරි පන්දුවාර තරගය

  • දකුණු අප්‍රිකාව – කිසිවෙක් නොදැවී 23 (1.0) David Miller නොදැවී 16
  • ඇෆ්ගනිස්තානය – කඩුලු 2ක් දැවී 19 (1.0) Rahmanullah Gurbaz 18, Keshav Maharaj 2/19

දකුණු අප්‍රිකාව කණ්ඩායමට සුපිරි පන්දුවාරයෙන් ජය

තරගයේ වීරයා – Lungi Ngidi (දකුණු අප්‍රිකාව)

14 වැනි තරගය (දිවා/රාත්‍රී), Group B, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ඉනිම ලකුණු 115කට සීමා වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Marcus Stoinis. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Josh Inglis පන්දු 17කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් සහ Matt Renshaw පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Mark Adair ලකුණු 44කට කඩුලු 2ක් ද, Harry Tector, George Dockrell සහ Matthew Humphreys කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පරාජිත අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසු පෙළින් පිටියට පිවිසි George Dockrell. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

ඊට අමතර Lorcan Tucker පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 34ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Nathan Ellis සහ Adam Zampa කඩුලු 4ක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී 182 (20.0) Josh Inglis 37, Cameron Green 21, Matt Renshaw 37, Marcus Stoinis 45, Mark Adair 2/44

 

අයර්ලන්තය – සියලුම දෙනා දැවී 115 (16.6) Lorcan Tucker 24, George Dockrell 41, Nathan Ellis 4/12, Adam Zampa 4/23

ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

තරගයේ වීරයා – Nathan Ellis (ඕස්ට්‍රේලියාව)

15 වැනි තරගය (දිවා/රාත්‍රී), Group C, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර තරගය                                                                          

Mumbai හී Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 166ක් පමණයි.

තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා ගන්නා බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Sherfane Rutherford. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Roston Chase පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ද සහ Jason Holder පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Adil Rashid සහ Jamie Overton කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී Sam Curran සහ Jofra Archer අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Sam Curran. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Jacob Bethell පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ Phil Salt පන්දු 14ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Gudakesh Motie ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Roston Chase කඩුලු ද්විත්වයක් ද Romario Shepherd සහ Akeal Hosein කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී 196 (20.0) Shimron Hetmyer 23, Roston Chase 34, Sherfane Rutherford නොදැවී 76, Jason Holder 33, Jamie Overton 2/33, Adil Rashid 2/16

 

එංගලන්තය – සියලුම දෙනා දැවී 166 (19.0) Phil Salt 30, Jos Buttler 21, Jacob Bethell 33, Sam Curran නොදැවී 43, Roston Chase 2/29, Gudakesh Motie 3/33

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 30ක ජයක්.

  • තරගයේ වීරයා – Sherfane Rutherford (බටහිර ඉන්දීය කොදෙව්)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<