පාකිස්තානයට සහ ඉන්දියාවට වෘත්තීය නිපුණතාව වාසියට හිටී

ICC Men's T20 World Cup 2026

2

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (7) කොළඹ දී සහ ඉන්දියාවේ දී ආරම්භ වුණා. තරගාවලියේ ආරම්භක තරගය මෙරට දී පැවැති අතර අනෙකුත් තරග ද්විත්වයට සත්කාරකත්වය දැක් වූයේ ඉන්දියාවයි.

නිමා වූ මෙම තරග ද්විත්වයේ දී පාකිස්තානය සහ ඉන්දියාව සමඟින් තරග වැදුණ නෙදර්ලන්ත සහ ඇමරිකානු කණ්ඩායම් ප්‍රතිවාදීන් සලිත වන ආකාරයේ දක්ෂතා දැක් වීම කැපූ පෙණුන අතර පැවැති අනෙක් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ පහසුවෙන් ම ස්කොට්ලන්තය පරාජයට පත් කළා.

1 වැනි තරගය, Group A, පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණ කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 147ක් ලබා ගත් අතර එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් පාකිස්තාන ක්‍රීඩකයන්ට කඩුලු 7ක් බිලි දීමට සිදු වුණා.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිමේ වැඩි ම ලකුණුලාභියා වූයේ නායක Scott Edwards. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

පිළිතුරු පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Sahibzada Farhan. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

ජයග්‍රාහී පාකිස්තාන ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 5 ලකුණු 16ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අනුව ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 114කට කඩුලු 7ක් ලෙසයි.

එතැන් සිට 6 වැනි කඩුල්ලට පිටියට එක් වූ Faheem Ashraf සහ Shaheen Shah Afridi එක් ව ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් පමණක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යන්නේ පන්දු 20ක දී ලකුණු 34ක නොබිඳුණ සබඳතාවක් එක් කරමිනුයි.

පාකිස්තානයට තියුණු අවසානයක් උදාකර දුන් නෙදර්ලන්ත පන්දු යවන්නන්ගෙන් Paul van Meekeren සහ Aryan Dutt කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Roelof van der Merwe, Kyle Klein සහ Logan van Beek කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 147 (19.5) Michael Levitt 24, Bas de Leede 30, Colin Ackermann 20, Scott Edwards 37, Salman Mirza 3/24, Mohammad Nawaz 2/38, Abrar Ahmed 2/23, Saim Ayub 2/07
  • පාකිස්තානය – කඩුලු 7ක් දැවී 148 (19.3) Sahibzada Farhan 47, Saim Ayub 24, Faheem Ashraf 29, Aryan Dutt 2/33, Paul van Meekeren 2/20

පාකිස්තාන කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා – Faheem Ashraf (පාකිස්තානය)

2 වැනි තරගය (දිවා/රාත්‍රී), Group C, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය අතර තරගය

Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන් සතු කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 182ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිම ලකුණු 147කට සීමා කිරීමට ද ඔවුන් සමත් වෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් හිමි වෙන අතර එහි නියමුවන් ලෙසින් Shimron Hetmyer සහ Romario Shepherd හැඳින්විය හැකියි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පන්දුවට පහර දෙන ඉනිමේ දී Shimron Hetmyer පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නා ලද අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මංගල අර්ධ ශතකය ද වූවා.

ප්‍රතිවාදී ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Romario Shepherd ලකුණු 20කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවිම ද වූ අතර මෙවර තරගාවලියේ කඩුලු 5ක් දවා ගත් පළමු වැන්නා බවට ද ඔහු පත් වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී 182 (20.0) Brandon King 35, Shimron Hetmyer 64, Rovman Powell 24, Sherfane Rutherford 26, Brad Currie 2/23
  • ස්කොට්ලන්තය – සියලුම දෙනා දැවී 147 (18.5) Richie Berrington 42, Tom Bruce 35, Jason Holder 3/30, Romario Shepherd 5/20

බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්.

තරගයේ වීරයා – Shimron Hetmyer (බටහිර ඉන්දීය කොදෙව්)

3 වැනි තරගය (රාත්‍රී), Group A, ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගය

Mumbai හී Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇමරිකානු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 132ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිම එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුවාර 6 තුළ කඩුලු 4ක් අහිමි වෙනවා. Ishan Kishan (20), Abhishek Sharma (0), Tilak Varma (25) සහShivam Dube (0) ඒ අතර වෙනවා.

එම අවස්ථාවේ දී නායකත්වයේ වගකීම ගත් Suryakumar Yadav පසුපෙළ පිතිකරුවන් ද සමඟින් ඉන්දීය ඉනිමට ජීවය එක් කළා. පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවන් ලබා ගනිමින් පිතිකරණයේ යෙදුණ ඔහු ඉන්දීය ඉනිම නිමා වන විට පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටියා.

ඔහුට අමතර ව Axar Patel ලකුණු 14ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකරුවන්ගේ ඉනිම් තනි ඉලක්කමකට සීමා කිරීමට ඇමරිකානු පන්දු යවන්නෝ සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Shadley van Schalkwyk ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් ඉන්දීය ඉනිමට ප්‍රබල තර්ජනයක් එල්ල කළා. එම දක්ෂතාව ඔහුගේ 15ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකානු ඉනිමේ ද ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 13ක් වෙද්දී අහිමි වෙනවා.

ඉන් අනතුරු ව 4 වැනි කඩුල්ලට එක් වූ Milind Kumar සහ Sanjay Krishnamurthi පන්දු 52ක දී ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Milind Kumar ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

අනතුරු ව 5 වැනි කඩුල්ල ලෙසින් Sanjay Krishnamurthi ද දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව ඇමරිකා ඉනිමේ වගකීම් කරට ගත් Shubham Ranjane ඉනිමේ අවසන් පන්දුවේ දී තම ඉනිම අවසන් කර ගනිද්දී පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Mohammed Siraj ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Arshdeep Singh සහ Axar Patel කඩුල ද්විත්වය බැගින් ද Varun Chakravarthy කඩුල්ලක් ද හිමි කර ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – කඩුලු 9ක් දැවී 161 (20.0) Ishan Kishan 20, Tilak Varma 25, Suryakumar Yadav 84, Shadley van Schalkwyk 4/25, Harmeet Singh 2/26
  • ඇමරිකාව කඩුලු 8ක් දැවී 132 (20.0) Milind Kumar 34, Sanjay Krishnamurthi 37, Arshdeep Singh 2/18, Mohammed Siraj 3/29, Axar Patel 2/24

ඉන්දියාවට ලකුණු 29ක ජයක්.

තරගයේ වීරයා – Suryakumar Yadav (ඉන්දියාව)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<