ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!

17
Icc brings new rule changes and amendments

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දැනට පවතින ක්‍රිකට් තරග නීති කිහිපයක් වෙනස් කිරීමට සූදානම් වන බව Crictracker වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරනවා.

සියලු ක්‍රිකට් තරග රටාවන්ට අදාළ ව එවැනි නීති වෙනස් කිරීම් සිදුවීමට නියමිත අතර, එහි දී එක්දින තරගයක අන්ත දෙකක් සඳහා පන්දු දෙකක් භාවිත කිරීම, විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ හැකියාව (DRS) මෙන්ම ක්‍රීඩක ආදේශනය පිළිබඳ නීති ද වෙනස් කම් වලට භාජනය වනු ඇති.

මෙම නීති වෙනස් කිරීම් පිළිබඳ නිල වශයෙන් යාවත්කාලීන කිරීම නුදුරේ දීම සිදු කිරීමට නියමිත අතර, එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා වන නීති එළඹෙන ජුලි මාසයේ සිට ද, ටෙස්ට් තරග සඳහා වන නීති 2025-27 ටෙස්ට් ලෝක ශූරතාවලියේ සිට ද වලංගු වනු ඇති.

මෙසේ වෙනස් වීමට භාජනය වන නීති අතරින් ඉහළ අවධානයක් හිමි වී ඇත්තේ එක්දින තරගයක පන්දු දෙකක් භාවිත කිරීමේ නීතියටයි.

2011 වසරේ සිට එක්දින තරගයක පන්දු යවන අන්ත දෙක සඳහා පන්දු දෙකක් භාවිත කිරීම ආරම්භ කළ නමුත්, මෙමගින් පන්දුව Reverse Swing කිරීම මෙන්ම, දඟ කැවීමට ද යම් යම් බාධා පැමිණුණා.

මේ හේතුවෙන් එම නීතිය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර, මේ අනුව තරගයක 34 වැනි පන්දුවාරය දක්වා පන්දු ද්විත්වයක් භාවිතා කර, 35 වැනි පන්දු වාරයේ සිට පන්දු යවන කණ්ඩායමේ අභිමතය පරිදි ඉන් එක් පන්දුවක් පමණක් භාවිතා කිරීමේ අවස්ථාව උදා වනු ඇති. ඒ අනුව තරගයේ අවසන් පන්දුවාර 16 තුළ එක් පන්දුවක් පමණක් පන්දු යැවීමට භාවිතා කිරීමේ අවස්ථාව උදා වනවා.

මේ අතර වර්ෂාව නිසා බාධා එල්ල වන තරගයක් පන්දුවාර 25 හෝ ඊට අවම පන්දුවාර ගණනකට සීමා වේ නම් එම තරගයේ එක් ඉනිමක් සඳහා එක් පන්දුවක් පමණක් භාවිතා කෙරෙනු ඇති.

එමෙන්ම තරගයක් අතර තුර ආබාධයක ලක් වන ක්‍රීඩකයකු වෙනුවෙන් ක්‍රීඩක ආදේශ සිදු කිරීමට නම්, තරගයට පෙර එම ආදේශනය වෙනුවෙන් පිතිකරුවකු, වේග පන්දු යවන්නකු, කඩුලු රකින්නකු, දඟ පන්දු යවන්නකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස වෙනත් ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කර තිබිය යුතු වනවා. කෙසේ වෙතත් මීට අමතර ක්‍රීඩකයකු ආදේශ ලෙස නම් කිරීමට (අදාළ අවස්ථාව අනුව) තරග තීරකවරයාට බලය හිමි වනු ඇති.

මීට අමතරව DRS අවස්ථා පිළිබඳ මෙන්ම, හතරේ සීමාව අසල උඩ පන්දු රැක ගැනීම් සහ පන්දු පහර නතර කිරීම් පිළිබඳව ද නව නීති ඉදිරිපත් වීමට නියමිත බවයි Crictracker සඳහන් කරන්නේ.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<