ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව; චෙරන්ත ද සිල්වා

1107

මේ කතාව විශිෂ්ටත්වය හඹායන තරුණයෙක් ගැනය. ඔහු සිය ජිවිතයම ඔහුගේ සිහිනය වෙනුවෙන් කැපකර ඇති අතර ඔහු පිළිබඳව ඔහු සතුව ඇති විශ්වාසය පිළිබඳව ද ඔහු පසුවන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

අනෙක් ඉහළ පෙළේ ක්‍රීඩකයින් මෙන් නොව, මොහු සිය පුහුණුවීම් කටයුතුවලට ප්‍රමුඛත්වය දී ඇත්තේ එය තරගය පැවැත්වෙන දිනයටත් වඩා වැදගත්කොට සලකමිනි. ඒ අනුව මොහු වසරේ දින 365 පුරාවටම, සතියකට පැය 20කටත් අධික කාලයක් වැය කරමින් කි.මී. 240ක් වැනි දුර ප්‍රමාණයක් සඳහා පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන්නේ සිය කාලය තවත් මිලි තත්පර කිහිපයකින් හෝ වැඩිදියුණු කර ගැනීමේ අභිප්‍රාය සහිතව ය. ඔහු නමින් චෙරන්ත ද සිල්වා ය.

සිය සහෝදරයා කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තටාකයේ පුහුණුවීම් කටයුතුවල නිරත වන විට චෙරන්ත කුඩා කාලයේ දී ඒ අසල සිටීමට පුරුදුව සිටි අතර ඔහු වයස අවුරුදු 5 දී පිහිනුම් ක්‍රීඩාව පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. කවුරුත් චෙරාන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු එවිට සිදු කළේ සිය මව හා පියා සමඟින් සිය සහෝදරයා පිහිනන දෙස බලා සිටීම පමණි.

කෙසේ නමුත් දිනක් ඔහු ද සිය සහෝදරයා සමඟ මදක් පිහිනීමේ නිරත වීමට තීරණය කළ අතර ඔහු පිහිනන ආකාරය දුටු ඔහුගේ දෙමාපියන් වන චූලා සහ කපිල ද සිල්වා යුවළ මෙන්ම ඔහුගේ සහෝදරයාගේ පුහුණුකරුවා වූ රොෂාන් විජේසිංහ ද ඔහු සතුව ඉතා හොඳ හැකියාවක් ඇති බව වටහා ගත්තේය. ඒ අනුව රොෂාන් ඔහුව පුහුණුකිරීම ආරම්භ කළ අතර චෙරාන් හට පිහිනුම් ක්‍රීඩාව පිළිබඳ ඉතා හොඳ මූලික දැනුමක් ලබා දෙන්නට ඔහු සමත් විය. ජාත්‍යන්තර සීමාවන් ද පරයා යමින් ජයග්‍රහණ වාර්තා කරන තරුණ ශූරයෙකුගේ බිහිවීම ඒ ආකාරයට සිදු විය.

ඒ අනුව චෙරාන් පිහිනුම් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම ආරම්භ කරන්නේ ආනන්ද විද්‍යාලයේ දී රොෂාන්ගේ මඟපෙන්වීම යටතේ ය. ඔහුගේ දෙමාපියන්ගෙන් ලැබුණු දිරිගැන්වීම මෙන්ම ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් යන දෙකම සමබරව පවත්වා ගෙන යාම සඳහා ඔහුට ඔවුන්ගෙන් ලැබුණු ගුරු හරුකම් චෙරාන් හට සිය ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අතිශය වැදගත් විය. ඒ අනුව ඔහු 2014 වසරේ දී ආනන්ද විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායමේ නායකත්වයට පත්වන අතර අනෙක් පසින් ව්‍යාපාර පරිපාලන අංශයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු ද හදාරා ගෙන යාමට ඔහු සමත් වෙයි. චෙරාන් අඛණ්ඩව වසර 5ක් සඳහා පිහිනුම් ක්‍රීඩාවෙන් වර්ණ දිනා ගැනීමට සමත් වීම තුළින්, ඔහු ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩා තරු අතරින් කෙනෙක් වන බව හොඳින්ම පැහැදිලි වේ.

Cherantha with parents, Kapila and Chula De Silva

“මට එයාලා (දෙමාපියන්) හිටියේ නැත්නම් මම අද මේ ඉන්න තැනට මට එන්න ලැබෙන් නැහැ. ඒ ආසන්නයට වත් එන්න ලැබෙන් නැහැ. ඒ නිසා මං ගැන තබා ගත්ත විශ්වාසය වෙනුවෙන් මම ඔවුන් දෙදෙනාට හැමදාමත් ස්තූතිවන්ත වෙනවා.”

චෙරාන්ගේ පියා අති සාර්ථක ව්‍යාපාරිකයෙක් වන අතර අනෙක් පසින් ඔහු චෙරාන්ගේ විශාලතම ක්‍රීඩාලෝලියා ද වේ. සිය පියා ප්‍රේක්ෂකාගාරයේ සිට ඔහු වෙනුවෙන් ඔල්වරසන් දීම චෙරාන් සතුව ඇති සතුටුදායකම මතකය වනු ඇති බව නොඅනුමානය.

“මම ඒකෙන් ගොඩක් සතුටු වුනා. එහෙම ඔල්වරසන් දුන්නට පස්සේ දවස් දෙකක් වගේ යනකං ඔහුට කතා කරගන්න බැරි වෙන බව දන්න නිසා මට දුක හිතුනත්, තාත්තා මගේ හැම ඉසව්වකම මං පසුපස සිටීම මට ලොකු සතුටක්.”

චෙරන්ත පාසල්, පළාත් මෙන්ම ජාතික වර්ණ ප්‍රධාන උත්සවවල දී වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත්ව ඇත.

ඔහු වටා සිටින සියලු දෙනාගේ සහයෝගය ඇතිව ඔහු ජාත්‍යන්තරය පවා ජය ගන්නට සමත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුවීම්වල නිරත වීමෙන් අනතුරුව ඔහුට තායිලන්තයේ ‘Phuket’ නුවර සුපතළ ‘ Thanyapur Swimming and Training Facility’ මඟින් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හිමි විය. මෙම ශිෂ්‍යත්වය හිමිවන්නේ අදාළ ක්‍රීඩකයින්ගේ රටවල්වල ශ්‍රේණිගත කිරීමේ ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් හටයි. ඒ අනුව ඔහු වසර ගණනාවක් පුරාවට දැක්වූ ඉහළ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් ලොවපුරා ක්‍රීඩකයින් 36 අතරට තෝරාගනු ලැබීය. 2020 වසරේ දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇතැයි එහි පුහුණුකරුවන් නිර්දේශ කරන ක්‍රීඩකයින් ගොන්න අතරට ඔහු ද ඇතුළත් වන අතර ඔහු සතුව ඇති එකම හීනය වන්නේ ද එයයි.

කෙසේ නමුත් මෙතරම් තරුණ වයසක දී සිය උපරිම දක්‍ෂතා කරා ළඟා වීම තරුණයෙක් හට බලපෑමක් එල්ල කිරීමට හැකිය.

  • Cherantha receiving awards at the school Colours Night and Western Province Colours Awards

“මගේ යාළුවෝ හොඳට විනෝද වෙද්දී, නිවාඩු හොඳින් ගත කරද්දී, මම උදේ 5ට නැඟිටලා ‘pool’ එකේ පුහුණුවීම්වල.”   

පෝය, නත්තල්, නව වසර මේ කුමන දිනයක වුවද චෙරාන් පුහුණුවීම් කටයුතුවල නිරත වන්නේ සිය කාලය තවත් මිලි තත්පර කිහිපයකින් හෝ වැඩිදියුණු කර ගැනීමේ අභිප්‍රාය සහිතව ය. ඔහුගේ මෙම කැපවීම ඔහු අද සිටින ස්ථානය දක්වා ඔහුව රැගෙන ඒමට සමත්ව ඇති අතර ඉදිරියේ දී ද සිය දස්කම් තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔහු අධිෂ්ඨානයෙන් පසුවෙයි.

චෙරාන් අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද?

“එකක් තමයි මට මගේ වීරයෝ වගේ වෙන්න ඕන නැහැ. මට ඕන ඔවුන්ව පරද්දන්න. අනිත් අ‍ය හිතන්න පුළුවන් ඒක මගේ විශ්වාසය වැඩි කමක් කියලා. ඒත් ඒකෙන් තමයි මට ශක්තිය ලැබෙන්නේ. මට අවශ්‍ය නැහැ ඊළඟ මයිකල් පෙල්ප්ස් වෙන්න. මට අවශ්‍ය තරුණ පරපුරට මගේම දෙයක් එකතු කරලා යන්න.”

2016 වසරේ දී චෙරන්ත ඉන්දියාවේ ‘Guwahati’ නුවර පැවති දකුණු ආසියානු තරගාවලිය සඳහා සහභාගී වී එහි දී එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් සමස්ත දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  

අනතුරුව 2017 සිංගප්පූරු විවෘත තරගාවලියේ දී ඔහු ඉතා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. ඔහු එහි දී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නා පමණක් නොව, සිංගප්පූරු ජාතික වාර්තාවන් පවා බිඳ දමමින් ඔවුන්ව ද පුදුමයට පත්කිරීමට සමත් විය. එහි දී ඔහු මීටර 50 SC සමනළ ආර ඉසව්ව තත්පර 23.48කින් නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවනු ලැබුවේ සිංගප්පූරුව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබාගත් ක්‍රීඩකයෙක් වන කුවා වෙන් සෙන්ග් තබා තිබූ වාර්තාව බිඳ දමමිනි.

Cherantha at an intense training session

අනතුරුව චෙරාන් 2017 ලෝක ජල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වූ අතර එහි දී මීටර 50 සමනළ ආර ඉසව්ව තත්පර 25.15කින් සහ මීටර 100 සමනළ ආර ඉසව්ව තත්පර 55.09කින් අවසන් කිරීමට සමත් වූයේ එම ඉසව් දෙකේ දී ම ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අභිබවා යමිනි. එමෙන්ම ඊට අමතරව මෙම තරගාවලියේ දී තවත් ශ්‍රී ලංකා වාර්තාවන් 3ක් අලුත් කරන්නට ඔහු සමත් විය. ඒ මීටර 200 සමනළ ආර, මීටර 50 සහ මීටර 100 නිදහස් ආර ඉසව්වලයි. එහි දී මීටර 50 නිදහස් ආර ඉසව්ව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය.

ඒ අනුව 2017 වසරේ දී ඔහු දැක්වූ ඉහළ දස්කම් හරහා ඔහුගේ ඔලිම්පික් සිහිනය නවමු තලයක් දක්වා ඉහළ ගොස් ඇත. ඔහු මේ වන විටත් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සංචිතයට තේරීපත්වී ඇති අතර එහි දී ඔහු පිළිබඳව ඉහළ බලාපොරොත්තු තබාගත හැක.

කෙසේ නමුත් සියල්ල අවසානයේ වැදගත් වන්නේ ක්‍රීඩකයා ක්‍රීඩාව වෙනුවෙන් යමක් දී ඇත්දැයි යන්න යි. ඒ ක්‍රීඩාවක් ක්‍රීඩකයෙකු තුළ ඇති කරන ගෞරවය සහ විනයේ ස්වභාවය යි.

  • Cherantha after setting Singapore National Records

“පිහිනුම් ක්‍රීඩාව මගේ ජිවිතයට ගොඩක් පැතිවලින් වටිනාකම් රැසක් එකතු කරලා තියෙනවා. ඉතින් මට ඒ තරම් දේවල් ලබා දුන්න පිහිනුම් ක්‍රීඩාවට මම දෙයක් කළේ නැත්නම්, මම ආත්මාර්ථකාමී කෙනෙක්. නමුත් මට විශ්වාසයි මම එහෙම නැහැ කියන එක. මම දන්නවා ක්‍රීඩකයෙක් වෙන එක කොච්චර අමාරු දෙයක් ද කියලා. ඒ නිසා මම ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාව දියුණු කරන්න මගේ උපරිමයෙන් කටයුතු කරනවා.”

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<