ශ්‍රී ලංකාව Bowl වටයේ දී නේපාලය පරාජය කරයි

233
Hong Kong International Sixes

හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරග ද්විත්වය පරාජය වීම හේතුවෙන් Bowl කුසලාන කාණ්ඩයට වැටුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටයේ නේපාලය සමඟ පැවැති තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (8) සමත් වෙනවා.

හොංකොං හි Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නේපාල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 86ක් ලබා ගත් අතර එම අභියෝගය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මෙම තරගයේ දී නිත්‍ය නායක ලහිරු මදුශංක වෙනුවට නායකත්වයේ වගකීම ධනංජය ලක්ෂාන් විසින් ඉසිලීම විශේෂත්වයක් වූවා.

ශ්‍රී ලංකා Sixes කණ්ඩායම

 

ධනංජය ලක්ෂාන් (නායක), තනුක දාබරේ (කඩුලු රකින්නා), ලහිරු සමරකෝන්, ලහිරු මදුශංක, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක.

 

නේපාල Sixes කණ්ඩායම

 

Sundeep Jora (නායක සහ කඩුලු රකින්නා), Lokesh Bam, Rashid Khan, Mohammad Aadil Alam, Sharad Vesawkar, Rupesh Singh, Basir Ahamad.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 16ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කරනවා. නායක Sundeep Jora සහ Lokesh Bam එක් ව මෙම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 27ක් ම එක් කර ගන්නේ පළමු පන්දුවාර යැවූ ධනංජය ලක්ෂාන්ට එරෙහිවයි.

ධනංජය ලක්ෂාන් විසින් යැවුණ එම පන්දුවාරයේ 2 වැනි පන්දුව මඟ හැර ගන්නා ආරම්භක පිතිකරු Sundeep Jora අනෙක් පන්දු 5 අවසන් කරන්නේ 6, 6, 4, 4 ක් සහ නැවත 6ක් ලෙසින් පන්දුව සීමාවෙන් එපිට නතර කරමිනුයි. එම පන්දුවාරයේ දී එම ප්‍රහාරයන්ට අමතර ව සීමාව ඉක්මවා ගිය ලකුණක් ද ප්‍රතිවාදීන් එක් කර ගන්නවා.

ඉන් පසුව නිමේෂ් විමුක්ති විසින් යැවුණ 2 වැනි පන්දුවාරයේ දී ද හයේ පහර ද්විත්වයක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගැනීමට මේ ක්‍රීඩකයන් දෙදෙනා සමත් වෙනවා.

තරිඳු රත්නායක විසින් යැවුණ, ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පළමු පන්දු ද්විත්වයේ දී ද හයේ පහර 2ක් එල්ල කරන Sundeep Jora ඊළඟ පන්දුවේ දී නිමේෂ් විමුක්ති වෙත උඩ පන්දුවක් දී දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දුවේ දී තවත් කඩුල්ලක් දවා ගත් තරිඳු රත්නායක, එතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වටා තිබූ පීඩනය තරමක් දුරස් කරනවා.

නේපාල ඉනිම අවසන් වන විට අනෙක් ආරම්භක පිතිකරු වූ Lokesh Bam නොදැවී පිටියේ රැඳී සිටි අතර ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31ක්. ඒ සඳහා ඔහු පන්දු 13කට පමණක් මුහුණ දුන් අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එක් කර තිබුණා. ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමා ව පැන්නීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී තරිඳු රත්නායක ලකුණු 17කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ලහිරු සමරකෝන් පන්දුවාර 2ක් යවමින් ලකුණු 19කට කඩුල්ලක් දවා ගත්තා. නේපාල ඉනිමේ දැවී ගිය අනේක කඩුල්ලේ හිමිකාරීත්වය ලහිරු මදුසංඛ සතු වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සම්පූර්ණයෙන් ම අසාර්ථක කිරීමට නේපාල ක්‍රීඩකයෝ සමත් වුණා. අසාර්ථක වූ පිතිකරුවන් අතුරින් 2 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී ලහිරු සමරකෝන් (8) සහ ලහිරු මදුසංක (0) දැවී යනවා.

අනතුරු ව යැවුණ පන්දුවාරයේ දී ද ආරම්භක පිතිකරු තනුක දාබරේ ද දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.

ලකුණු 20කට කඩුලු 3ක් දැවී අමාරුවේ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ ධනංජය ලක්ෂාන් සහ නිමේෂ් විමුක්ති. ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන්නේ පන්දු 20ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කරමිනුයි.

එහි දී ධනංජය ලක්ෂාන් පන්දු 10ක දී හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ නිමේෂ් විමුක්ති පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Rupesh Singh ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Lokesh Bam කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නේපාල Sixes කණ්ඩායම – කඩුලු 4ක් දැවී 86 (6.0) Sundeep Jora 39, Lokesh Bam 31, තරිඳු රත්නායක 2/17

 

ශ්‍රී ලංකා Sixes කණ්ඩායම – කඩුලු 3ක් දැවී 89 (5.3) ධනංජය ලක්ෂාන් නොදැවී 36, නිමේෂ් විමුක්ති නොදැවී 33, Rupesh Singh 2/17

ශ්‍රී ලංකා Sixes කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

  • තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන් (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව සහභාගී වන මිළඟ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැත්වෙන අතර ඔවුන් මෙම තරගයට එක් වෙන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් පන්නරයත් සමඟයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<