අගාධයට යමින් තිබූ ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාව නැවත අළු ගසා නැගී සිටින අයුරු 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට දක්නට ලැබෙන අතර ජාතික සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂී කඩඉම් රැසක් මෙරට ක්‍රීඩිකාවන් පසු කර යනු පසුගිය කාලය පුරාවට දකින්නට අසන්නට ලැබුණා.
මෙරට මලල ක්‍රීඩා පිටියේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දස්කම් ශීඝ්‍රයෙන් ඉහළ නංවා ගන්නා අයුරු පසුගිය වසර දෙක තුළ දී දක්නට ලැබුණ අතර ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ජාතික මලල ක්‍රීඩා පිටියට පිවිසෙනු දක්නට ලැබුණා.
එම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඇතිවූ තරගකාරීත්වය නිසාවෙන් ජාතික මලල ක්‍රීඩා පිටියේ වාර්තා කිහිපයක්ම බිඳ වැටෙණු දක්නට ලැබුණු අතර නව ජාතික ශූරයින් කිහිප දෙනෙකුම මෙම තරග වාරයේ දී බිහි වීම විශේෂත්වයක්.
එමෙන්ම පසුගිය මාසයෙන් අවසන් වූ 2021 තරග වාරයේ දී ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට සුබවාදී බලාපොරොත්තු ගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා.
චාමිනි සමුදිකා හේරත්
ලාංකීය මලල ක්‍රීඩාවට වටිනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක් වන චාමිනි සිය මංගල ජ්‍යෙෂ්ඨ තරගාවලිය ලෙස 99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියර සඳහා සහභාගී වුනා.
එහි දී සිය පළමු ඉසව්ව ලෙස කාන්තා මීටර් 10,000 ඉසව්ව නියෝජනය කළ චාමිනි සිය පළමු සහභාගීත්වයෙන් ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අභිබවා යමින් මිනිත්තු 36:23.59ක කාලයකින් තරගය අවසන් කරමින් ජාතික කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

සචිනි පෙරේරා
ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළ පසුව රිටි පැනීමේ ඉසව්වට යොමු වූ සචිනි පෙරේරා රිටි පැනීම කාන්තා ඉසව්ව සිය ආධිපත්‍යයට නතු කරගෙන අවසන්.
ජාතික ශූරිය මෙන්ම ජාතික වාර්තාවේ හිමිකාරිය ලෙසින් 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට පැමිණි සචිනි, එහි දී මීටර් 3.57ක උසක් සාර්ථකව තරණය කරමින් තමන්ගේම ජාතික වාර්තාව බිඳ හෙළන්නට සමත් වුනා.

අරුණ දර්ශන
ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානම බලාපොරොත්තුවක් වූ අරුණ දර්ශන දකුණු ආසියානු රන් පදක්කම්ලාභී මෙන්ම ආසියානු යොවුන් රන් පදක්කම්ලාභී දක්ෂ යොවුන් ක්‍රීඩකයෙක්.
ආබාධයකට ලක්ව සුව වීමෙන් පසුව පසුගිය තරගාවලි කිහිපයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අරුණට නොහැකි වූ නමුත් නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ජාතික කිරුළ දිනා ගැනීමට අරුණට හැකි වුනා.

එමෙන්ම මැයි මාසයේ දී පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියරේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 46.45ක කාලයකින් අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද අරුණට හැකි වුනේ කාලිංගට පමණක් දෙවැනි වෙමින්.
නිලානි රත්නායක
2021 මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ නිලානි 2022 ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ පදක්කම් දිනා ගැනීමට ඉහළ හැකියාවක් ඇති ක්‍රීඩිකාවක්.
99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:53.96ක කාලයකින් අවසන් කරමින් වසර ගණනාවක් මුළුල්ලේ තමන් සතු කර ගත් එම ඉසව්වේ ජාතික කිරුළ රැක ගැනීමට නිලානිට හැකි වුනා.

නිලානි 2020 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට ආසන්නයේ සිටියත්, කොරෝනා වසංගත තත්වය නිසාවෙන් තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථාවක් නොලැබීමට මෙන්ම 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරගයේ දී බලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසාවෙන් සිදු වූ අත්වැරදීමක් නිසාවෙන් ඇයට අවසන් මොහොතේ ඔලිම්පික් සිහිනය අතහැර දැමීමට සිදු වුනා.
කාලිංග කුමාරගේ
තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමෙන් පසුව නැවත තරග බිමට පිවිස මීටර් 400 සහ 200 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට කාලිංග කුමාරගේට හැකි වුනා.
2020 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී පිරිමි මීටර් 400 ජාතික කිරුළ හිමි කර ගත් කාලිංග කුමාරගේ 2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 400 ඉසව්ව තත්පර 46.12ක කාලයකින් අවසන් කළා.
එමෙන්ම ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ද මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කාලිංග තත්පර 45.73ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ඉන්දියානු තරගාවලියේ මීටර් 200 ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ කාලිංග මෙම තරග වාරයේ ඔහු සහභාගී වූ අවසන් තරගය වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්ව තත්පර 21.13ක කාලයකින් අවසන් කළේ දෙවැන්නා ලෙසයි.
නිමාලි ලියනආරච්චි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව පසුබෑමකට ලක්වූ කාලසීමාවක් ලෙස සැලකූ පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ගෞරවය රැක ගැනීමට අමිල සේවාවක් ඉටු කළ නිමාලි ලියනආරච්චි ආසියානු පදක්කම් ලාභී ක්‍රීඩිකාවක්.
සිය වයසට අභියෝග කරමින් තවමත් දස්කම් අතර සිටින නිමාලි මෙම වසරේ පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ජාතික කිරුළ නැවතත් තමන් සතුකර ගැනීමට සමත් වුනේ මිනිත්තු 2:06.69ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.
ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලිය සඳහා ද සහභාගී වූ නිමාලි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ එල්ල වූ අවහිර කිරීම් මධ්‍යයේ තරග වදිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ඔලිම්පික් උළෙලේ මීටර් 800 මූලික තරග නියෝජනය කළ නිමාලි ලියනආරච්චි මිනිත්තු 2:10.23ක කාලයකින් තරගය අවසන් කළේ අටවැන්නා ලෙසයි.
ඩිල්ෂි කුමාරසිංහ
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉහළ දස්කම් දක්වමින් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූ ඩිල්ෂි කුමාරසිංහ ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා පිටියේ වර්තමානයේ වැඩිම අවධානයක් දිනා ගත් යොවුන් ක්‍රීඩිකාවයි.
ඩිල්ෂි මෙවර තරග වාරයේ දී ද තරමක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර 2021 අප්‍රේල් මාසයේ පැවති පළමු මලල ක්‍රීඩා තේරීම් තරගවල කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:02:52ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වෙහි ජාතික වාර්තාව බිඳ හෙළීමට ඩිල්ෂි සමත් වුනා.

එම සිදුවීම නිසාවෙන් මෙවර තරග වාරයේ කිසිදු තරගයකට සහභාගී වීමට ඇයට අවස්ථාව හිමිවුනේ නැහැ.
මේධානි ජයමාන්න
ජාතික මලල ක්‍රීඩා පිටියේ මෙවර තරග වාරයේ දී වඩාත්ම කතාබහට ලක්වූ යොවුන් ක්‍රීඩිකාව ලෙස මේධානි ජයමාන්න හැඳින්වීමට පුළුවන්.
ඉන්දියාවේ පැවති ඉන්දියානු අන්තර් ප්‍රාන්ත තරගාවලියේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 22.08ක කාලයකින් දෙවැන්නා අවසන් කළ මේධානි මෙම වසරේ පැවති ලෝක යොවුන් ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තා.

කෙන්යාවේ පැවති ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය එහි මූලික වටයේ දී තත්පර 21.01ක කාලයකින් තරගය අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ද වුනා.
අවසන් පූර්ව වටයේ දී නැවතත් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය අලුත් කරමින් තත්පර 23.95ක කාලයකින් සිව්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඇය සමත් වූ අතර එය මීටර් 200 ඉසව්ව සඳහා මෙරට ක්‍රීඩිකාවක් මෙම වසරේ වාර්තා කළ හොඳම කාලය ලෙස ද සටහන් වුනා.
ජාතික පිටියේ මෙවර තරග වාරයේ අවසන් තරගය ලෙස 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 200 තරගයට සහභාගී වූ මේධානි තත්පර 24.24ක කාලයකින් දෙවැන්නා ලෙස තරගය අවසන් කළා.
අමාෂා ද සිල්වා
මහනුවරින් මලල ක්‍රීඩාවට පැමිණි යොවුන් ක්‍රීඩිකා අමාෂා ද සිල්වා වත්මන් ජාතික මලල ක්‍රීඩා පිටියේ සිටින වේගවත්ම ක්‍රීඩිකාවයි.
2021 තරග වාරයේ දී ද ඉහළ දස්කම් දැක්වූ අමාෂා මැයි මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.89ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සමත් වුනා.
ඉන්පසු ඉන්දියාවේ දී පැවති ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ අමාෂා ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කරමින් රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 11.59ක කාලයකින් තරගය අවසන් කරමින්.

සාරංගි ද සිල්වා
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් සාරංගි ද සිල්වා 2021 තරග වාරයේ දී ජාතික වාර්තාව දෙවරක් බිඳ හෙළීමට සමත් වුනා.
2020 වසරේ ජාතික ශූරිය බවට පත්වීමෙන් පසුව කටාර් හී විශේෂ පුහුණුවකට පිටත් වූ සාරංගි ද සිල්වා මෙම වසරේ තුර්කියේ පැවති තරගාවලියක් අතරතුර දුර පැනීම ඉසව්වේ මීටර් 6.44ක දස්කමක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළුවා.

ගයන්තිකා අබේරත්න
ආසියානු පදක්කම් ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් වන ගයන්තිකා අබේරත්න සිය 2021 තරග වාරය නිමාවට පත්කළේ සිය ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනුයි.
මේ වන විට 34 වැනි වියේ පසුවන ගයන්තිකා 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4:09.12ක කාලයකින් අවසන් කරමින් නිමාලි ලියනආරච්චි විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

රොෂාන් ධම්මික
2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩකයා ලෙස රොෂාන් ධම්මික හැඳින්විය හැකි.
මීටර් 110 කඩුලු පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු පදක්කම් ලාභියෙකු වන රොෂාන් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ආරම්භ කළේ මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ මූලික තරගය තත්පර 13.97ක කාලයකින් අවසන් කරමින් වසර 24කට පෙර මහේෂ් පෙරේරා විසින් එම ඉසව්ව සඳහා පිහිටවූ ජාතික වාර්තාව බිඳ හෙළමිනුයි.

උෂාන් තිවංක
ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් තිවංක මෙම වසර තුළ මෙරට මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලයේ අවධානයට ලක්වූ ක්‍රීඩකයෙක්.
ඇමරිකාවේ ටෙක්සාස් නුවර A&M University of Commerce විශ්වවිද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන උෂාන් මෙම වසරේ උස පැනීම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් වාර්තා ද්විත්වයම බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම උස පැනීම පිටියේ මංජුල කුමාරට පසු ජාත්‍යන්තර තලයේ අවධානයක් දිනා ගැනීමට සමත් වූ එකම ක්‍රීඩකයා වූ උෂාන් මෙම වසරේ මාස පහක් තුළ වාර්තා පහක් පිහිටුවීමට සමත් වීම කැපී පෙනුණා.
මාස 5ක් තුළ උෂාන් බිඳ හෙළු වාර්තා,
- උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව – 25m
- උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 26m
- උස පැනීම ජාතික වාර්තාව – 28m
- උස පැනීම ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 30m
- දකුණු ආසියානු වාර්තාව – 30m
උෂාන් 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්නව සිටියත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඔහුට තරගාවලි සඳහා සහභාගී වීමේ අවස්ථාවක් නොලැබීම නිසා එම අවස්ථාව මග හැරී ගියා.
යුපුන් අබේකෝන්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නාමය ජාත්‍යන්තර පිටියේ ප්‍රමුඛ පෙලේ තරගාවලි තුළට රැගෙන යමින් ශ්‍රී ලංකා කෙටි දුර ධාවනයේ නව පිටුවක් පෙරළීමට යුපුන් අබේකෝන්ට හැකි වුනා.
ඉතාලියේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන යුපුන් 2021 වසර ආරම්භ කළේ මීටර් 60 ගෘහස්ථ ඉසව්ව තත්පර 6.59ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළමිනුයි.
එම වාර්තාව පිහිටුවීමෙන් කෙටි දිනකට පසු එළිමහන් පිටියට පිවිසි යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම පසුගිය වසරේ පිහිටවූ ජාතික සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කළා.
මැයි මාසයේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක (+2.2) කාලයකින් අවසන් කරමින් ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වක් අවසන් කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට ද යුපුන්ට හැකි වුනා.
ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ යුපුන් අබේකෝන් 2021 Florence ඩයමන්ඩ් ලීග් තරගාවලිය නියෝජනය කරමින් එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

සිය ක්‍රීඩා දිවියේ තවත් විශාල කඩඉමක් ජය ගනිමින් 2021 ඩයමන්ඩ් ලීග් තරග වාරයේ මීටර් 100 අවසන් තරගය සඳහා යුපුන් සුදුසුකම් ලබා ගත්තේ Florence තරගාවලියේ දැක්වූ දස්කම් නිසයි.
එම තරගයේ දී ලොව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමඟ තරග කරමින් තත්පර 10.22ක කාලයකින් ඉසව්ව අවසන් කළ යුපුන්ට හිමි වුනේ 9 වැනි තැනයි.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ජාතික මලල ක්‍රීඩා පිටියේ පෙර දස්කම් දැක්වූ තවත් ප්‍රවීණ සහ නවක ක්‍රීඩිකාවන් රැසක් මෙම වසර තුළ දැක ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී ලකුණක්.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවැරදිව කළමනාකරණය කර ගනිමින් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද විධිමත් සැලසුමක් යටතේ කටයුතු කළමනාකරණ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන්ට හැකි වුවහොත්, ජාත්‍යන්තර තරගාවලි බහුලව ඇති ඉදිරි වසර ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ස්වර්ණමය වසරක් බවට පත්කර ගැනීමට හැකි වනු ඇත.
>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<






















