එක් දිනක් තුළ ක්‍රිකට් ලොව මවිත කරනා සමුගැනීම් දෙකක්

22
Glenn maxwell

වත්මන් ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ඊයෙ (02) දිනයේ දී සිය සමු ගැනීම් ප්‍රකාශයට පත් කළා.

Glenn Maxwell

ඕස්ට්‍රේලියාව විසින් බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැකි Glenn Maxwell ඊයේ දිනයේ දී තමන් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව නිවේදනය කළා.

තවදුරටත් තම ශරීරයට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දරා ගත නොහැකි බව සඳහන් කරමින් ඔහු සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කළ නමුත්,  තවදුරටත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මේ වන විට 36 වැනි වියේ පසුවන Maxwell විසින් එක්දින ක්‍රිකට් තරග 149ක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එදින ලෝක කුසලාන ද්විත්වයක ද පහස විඳීමට සමත් වුනා.

2022 වසරේ ඔහුගේ පාදයේ සිදු වූ ආබාධයෙන් පසුව එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දිගින් දිගටම කර ගෙන යාම අපහසු වූ බව පවසන Maxwell එමගින් තම කණ්ඩායම ආපස්සට ඇද දැමීමක් සිදු නොකළ යුතු බව විශ්වාස කරන බව සඳහන් කරනවා.

එම නිසා එළඹෙන 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙත ලබා දෙමින් තම සමු ගැනීම ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

සිය එක්දින දිවිය තුළ ලකුණු 3990ක් රැස් කිරීමට සමත් වූ Maxwell පන්දුවෙන් කඩුලු 77ක් ද දඩයම් කිරීමට සමත් වුනා.

එමෙන්ම එක්දින ක්‍රිකට් පිටියේ Andre Russellට පමණක් දෙවැනි වෙමින් හොඳම පිතිකරණ ප්‍රහාරාත්මක වේගය (126.70) රඳවා ගැනීමට ද සමත් වී සිටින Maxwell, එක්දින ලකුණු 2000 ඉක්මවා රැස් කළ පිතිකරුවන් අතරේ හොඳම ප්‍රහාරාත්මක වේගයට ද හිමිකම් කියනවා.

ඔහුගේ එක්දින ඉනිම් අතරේ මෙතෙක් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම එක්දින ඉනිම ලෙසට සැලකුම් ලබන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව වාර්තා කළ ලකුණු 201ක ඉනිම  විශේෂ ස්ථානයක් හොබවනවා.

මීට අමතරව ඔහු එක්දින පිටිය වර්ණවත් කරමින් එල්ල කළ අති දැවැන්ත හයේ පහර මෙන්ම ප්‍රවේගකාරී ඉනිම් රැසක් ප්‍රේක්ෂක මතකයේ සදා රැඳී පවතිනු ඇති.

ඔහු මීට අමතරව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශතකයේ හිමි කරු ලෙස මෙන්ම, එම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වී සිටිනවා. එමෙන්ම 2015 එක්දින ලෝක කුසලානයේ දී මෙන්ම 2023 එක්දින ලෝක කුසලානයේ දී ද සිය පිත්තට අමතරව පන්දුව ද ඕස්ට්‍රේලියානු ජය වෙනුවෙන් කැප කිරීමට Maxwell සමත් වුනා. මීට අමතරව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත් කැපී පෙනෙන පන්දු රකින්නකු බව ද අමතක කළ නොහැකි මතකයක්.

Heinrich Klaasen

එක්දින පිටියේ ලකුණු 2000 ඉක්මවූ ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ඇති පිතිකරුවන් අතරේ පළමු ස්ථානය හිමි Maxwellගේ සමු ගැනීමෙන් මොහොතකට පසුව ඊයේ දිනයේ දීම, එම ලැයිස්තුවේ දෙවැනි තැන රැඳෙනා දකුණු අප්‍රිකානු පිතිකරු Heinrich Klaasen ද සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ නිවේදනය ප්‍රකාශයට පත් කළා.

විස්සයි විස්ස ලීග් පිටියට වැඩි අවධානයක් ලබා දීම අරමුණු කර ගනිමින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කළ බවයි පෙනී යන්නේ.

නුදුරේ දීම 34 වැනි වියට පා තැබීමට නියමිත Klaasen සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නිමා වූ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වසර හතක කාලයක් සැරි සැරූ Klaasen විසින් ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 58ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළා.

සීමිත පන්දුවාර තරගවලට වඩාත් උචිත පිතිකරුවකු ලෙස සැලකුම් ලද Klaasen විසින් 2023 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 83ක් තුළ වාර්තා කල ලකුණු 174ක ඉනිම ඔහුගේ ක්‍රීඩා දිවියේ විශේෂ මතකයක් ලෙස සඳහන් කළ හැකි.

එමෙන්ම 2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය ඉන්දියාව සතු වීමේ ප්‍රධානතම හේතුව ලෙස Klaasenගේ දැවී යාම හඳුන්වාදිය හැකි.

පසුගිය අප්‍රේල් මාසයේ දී දකුණු අප්‍රිකා ක්‍රිකට් විසින් වාර්ෂික කොන්ත්‍රාත්තු සඳහා Klaasenව නොසලා හැරි අතර, මේ සඳහා ඔවුන් අතර ඇති වූ සාකච්ඡා හේතු වූ බව වටහා ගත හැකි. විශේෂයෙන්ම නව දකුණු අප්‍රිකානු පුහුණුකරු විසින් තම ක්‍රීඩකයින් ලීග් ක්‍රිකට් පිටියට වඩා කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට අවධානය ලබා දිය යුතු බව ද අවධාරණය කර තිබුණා.

මෙවැනි හේතු Klaasenගේ මෙම තීරණය ඉක්මන් කල බව වටහා ගත හැකි.

මට සහ මගේ පවුලේ අනාගතය වෙනුවෙන් වඩාත් හොඳ මොකක්ද කියලා තීරණය කරන්න ගොඩක් කල් ගත කළා. ඒක ඇත්තටම ඉතා දුෂ්කර තීරණයක් වුනත්, අනිත් අතට ඒක මට විශාල සහනයක් දැනෙන තීරණයකුත් වුනා.

මෙම සමු ගැනීම සිය පවුලේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කළ බවයි Klaasen සඳහන් කරන්නේ.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<