මේරියන් ජාතික වාර්තා හතරක් බිඳ දමද්දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

157

2019 ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලිය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර දී ආරම්භ වූ අතර පළමු දිනයේම සුපිරි දස්කම් දක්වමින් ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් පදක්කම් දිනා ගත්තේ තරගාවලියට ජයග්‍රාහි ආරම්භයක් ලබා දෙමිනි.   

Video – ආසියාව ජය ගන්න සවි ඔසවන්නන් සූදානම්

මාර්තු මස 12 වැනිදා සිට17 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ……

ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලිය දින පහත පුරා පැවැත්වීමට  නියමිත අතර Classic  හා Equipped යන අංශ දෙකෙන්ම තරග පැවැත්වෙනු ඇත. Classic කාණ්ඩයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු අමතර උපාංගයක් පැලඳීමට නොහැකි අතර Equipped අංශයේ තරගකරුවන්ට දණහිස් ආවරණ හා වෙළුම් ආදිය පැලදීමට අවස්ථාව හිමි වේ. එක් තරගකරුවෙකුට අවස්ථා තුනක් හිමි වේ.

තරගාවලියේ ආරම්භක දිනයේ දී කාන්තා Equipped කාණ්ඩයේ සියලු ඉසව් ක්‍රියාත්මක විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 72Kg විවෘත, 63Kg විවෘත, 47Kg විවෘත හා 84Kg + කාණ්ඩයේ තරග ඉසව්වලට එක් විය. සහභාගී වූ ක්‍රීඩිකාවන් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීම විශේෂත්වයක්.

මේරියන් රිදී පදක්කමක් දිනමින් ජාතික වාර්තා හතරක් බිඳ දමයි

කාන්තා 72 Kg විවෘත ඉසව්වෙන් තරග කළ මේරියන් ද සොයිසා නව ජාතික වාර්තා හතරක් බිඳ දමමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඇය කිලෝග්‍රෑම් 125 squat ආකාරයට එසවූ අතර බෙන්ච් ප්‍රෙස් ආකාරයට කිලෝග්‍රෑම් 62ක් ද ඔසවන්නට සමත් විය. Deadlifts ආකාරයට කිලෝග්‍රෑම් 160ක් ද එසවූ ඇයගේ සියලුම දක්ෂතාවයන් ජාතික වාර්තා වීම විශේෂත්වයක්. මුළු බර ලෙස කිලෝග්‍රෑම් 347ක් ඔසවමින් ඇය සිය සිව්වැනි ජාතික වාර්තාව පිහිට වූයේ කිලෝග්‍රෑම් 72 කාණ්ඩයේ ශ්‍රී ලාංකීය කාන්තාවක් එසවූ වැඩිම බර ඔසවමිනි. ඇයගේ ඒ දක්ෂතාව නිසාම ඇයට එම ඉසව්වේ රිදී පදක්කම හිමි විය.

නාවික හමුදා යුගලයට රන් හා රිදී

නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන දිල්රුක්ෂි වික්‍රමසිංහ හා ගයානි රන්දුනි පිළිවෙළින් රන් පදක්කමක් හා රිදී පදක්කමක් බැගින් දිනා ගැනීමට සමත් විය. නාවික හමුදා රග්බි හා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවන් වන දිල්රුක්ෂි කිලෝග්‍රෑම් 63 equipped කාණ්ඩයේ තරග කළ අතර මුළු බර ලෙස කිලෝග්‍රෑම් 265 (110Kg Squat, 45Kg bench press, 110Kg deadlift) ක් ඔසවමින් ඇය රන්  පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ගයානි රන්දුනි ද රිදී පදක්කමක් දිනා ගත්තේ කාන්තා කිලෝග්‍රෑම් 63 ඉසව්වෙනි. ඇය කිලෝග්‍රෑම් 285ක් ඔසවමින් මෙම දක්ෂතාව දැක්වූයේ 120kg squat, 45Kg bench press, 120kg deadlift ලෙසයි.

ක්‍රිස්ටීන්ට රන් පදක්කමක්

යොවුන් සවි එසවුම් ක්‍රීඩිකාවක් වන ශේශානි ක්‍රිස්ටින් කිලෝග්‍රෑම් 84 + ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේ කනිෂ්ඨ අංශයෙන්. ඇය මුළු බර ලෙස කිලෝග්‍රෑම් 220ක් එසවූ අතර ඒ 80Kg Squat, 40Kg bench press,100kg deadlift ලෙසටයි.

අද (13) තරගාවලියේ දෙවන දිනය වන අතර අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් ද තරග බිමට පිවිසීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<