ලෝක කුසලානය යුරෝපා කුසලානයක් වෙයි; බ්‍රසීලය හා උරුගුවේ ඉවතට

1192

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ඊයේ (6) ඇරඹුණු අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රබල ප්‍රංශය හා උරුගුවේ කණ්ඩායම සහභාගී විය.

තියුණු තරගයකට පසු ගෝල 2-0ක් ලෙස පහසු ජයක් හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ප්‍රංශ කණ්ඩායම සමත් විය. දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගෝල 2-1ක් ලෙස ප්‍රබල බ්‍රසීලය නැවත හරවා සිය රටට  යවන්නට පෙරළිකාර බෙල්ජියම සමත් විය. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය සඳහා බෙල්ජියම හා ප්‍රංශය තරග වදිනු ඇත.

එංගලන්තය ඉතිහාසය අලුතෙන් ලියයි; ස්විස්ටර්ලන්ත සිහින වියැකේ

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ සිව්වැනි හා අවසාන

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ යුරෝපා රටවල් නොවන උරුගුවේ හා බ්‍රසීලය යන රටවල් දෙකම ඊයේ තරගාවලියෙන් ඉවත් වූ අතර ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසෙන රටවල් හතරම යුරෝපීය රටවල් වනු ඇත. ඒ  අතරම ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට බ්‍රසීලය, ආර්ජෙන්ටිනාව හෝ ජර්මනිය නොමැතිව පැවැත්වෙන පළමු ලෝක කුසලාන අවසන් පූර්ව වටය ද ප්‍රේක්ෂකයින්ට මෙවර දැකගත හැකිවනු ඇත.

මෙසීගේ හා රොනාල්ඩෝගේ අඩිපාරේ NEYMARත් ගෙදර ගෙදර යයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රබල බ්‍රසීලය හා ප්‍රබල බෙල්ජියම තරග වැදුණු අතර ලෝක ශූර බ්‍රසීලය නැවත හරවා යවමින් ගෝල 2-1ක් ලෙස අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන්කර ගන්නට පෙරළිකාර බෙල්ජියම සමත් විය. තරගය Kazan හි Kazan ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ඒ අනුව ලෝක ශූර බ්‍රසීලය, ජර්මනිය, ආර්ජෙන්ටිනාව, පෘතුගාලය, උරුගුවේ සමඟින්ම නැවත සියරට කරා හිස් අතින් හැරී යන අතර බෙල්ජියම හා ප්‍රංශය අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා හමුවනු ඇත.     

බලාපොරොත්තු වූ පරිදි තරගයේ පළමු අර්ධය ගිනිකෙළි සංදර්ශනයක් වූ අතර කෙසේ වෙතත් ප්‍රබල බ්‍රසීල උත්සාහයන් අපතේ යවමින් පළමු අර්ධයේ දී විශිෂ්ට ගෝලයක් බෙල්ජියම ලබා ගද්දී, තවත් ගෝලයක් නොමිලයේම ලබා දෙන්නට බ්‍රසීලය ත්‍යාගවන්ත විය. දෙවන අර්ධයේ දී බෙල්ජියම් කණ්ඩායම දක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වූ නමුත් ඉතා පැහැදිලි අවස්ථා දෙකක් බ්‍රසීලයෙන් ගිලිහි ගියේ ඔවුන් නොසිතූ ලෙසය.

කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූ අතර බ්‍රසීල ආක්‍රමණ මනාව ආරක්ෂා කරමින් ලද අවස්ථාවල ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බෙල්ජියමේ සැලසුම විය.

තරගයේ පළමු ආසන්න අවස්ථාව බ්‍රසීලය වාර්තා කර ගත් අතර Thiago Silva ගෝල රාමුව ආසන්නයේම සිට කළ උත්සාහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ඉතා ආසන්න අවස්ථාවක් ඔවුන්ට අහිමි කරමිනි.

(පළමු ආසන්න අවස්ථාව සාර්ථක කර ගැනීමට තියාගෝ සිල්වා සමත් වූයේ නැත)   

13 වන මිනිත්තුවේ දී බෙල්ජියමට ‘corner’ අවස්ථාවක් හිමි වූ අතර De Bruyne අලංකාර ලෙස ගුවනේ පා කර එවූ පන්දුව Vicent Kompany සිය හිසෙන් දැල වෙත යොමු කිරීමට උත්සහ කරද්දී ඒ අවස්ථාවට බාධා කිරීමට ගිය බ්‍රසීලයේ FERNANDINHOගේ වැලමිටේ වැදී පන්දුව ගෝල රාමුව තුලට ගියේ බෙල්ජියමට පළමු ගෝලය නොමිලේම හිමිකරදෙමිනි.     

(De Bruyne තරගය පුරා අති විශිෂ්ට ලෙස ක්‍රීඩා කළේ අවස්ථා රාශියක් ප්‍රහාරකයින්ට සකසා දෙමිනි)

මේ Own Goal අවස්ථාවක් සමඟම වාර්තා ගත ලෙස මෙවර ලෝක කුසලානයේ 11 වන Own Goal අවස්ථාව වාර්තා විය.

අනතුරුව LUKAKU විසින් විශිෂ්ට ධාවනයක නිරත වීමෙන් පසු තරගය පුරා සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ DE BRUYNE වෙත 31 වන මිනිත්තුවේ දී පන්දුව ලබා දුන් අතර දඬුවම් පහර චතුරශ්‍රය අසලටම පන්දුව රැගෙන ගිය ඔහු සුපිරි වේගයකින් වේගවත් ප්‍රහාරයක් එල්ල කළේ බ්‍රසීල ගෝල රකින්නාට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුව දැල තුලට යවමිනි.

(බ්‍රසීල ක්‍රීඩකයින් දැවැන්ත අගාධයකට ඇද දමන්නට DE BRUYNEගේ ප්‍රහාරය සමත් විය)

බ්‍රසීල ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන්ම නිහඬ වී ගිය ක්‍රීඩාංගණයක 36 වන මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල රැස් කිරීමට ප්‍රබල උත්සහයක් දැරුවත් බෙල්ජියම් ගෝල රකින්නා Courtois, දක්ෂ ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය: බෙල්ජියම 02 – 00 බ්‍රසීලය

දෙවන අර්ධයේ පළමු මිනිත්තු කිහිපය තුල අධිෂ්ඨානශීලීව පිටියට පිවිසුණු බ්‍රසීල ක්‍රීඩකයෝ ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක් උදා කරගත්ත ද එම අවස්ථා සාර්ථක කර ගැනීමට KOMPANY ප්‍රමුඛ බෙල්ජියම් පසුපෙළ ඉඩ ලබා දුන්නේ නැත.

Marcelo බ්‍රසීලය වෙනුවෙන් පෙරට වඩා ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ අතර 53 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක ගේබ්‍රියල් ජේසුස් හට KOMPANY අනවශ්‍ය බාධා කිරීමක් කළ බව පවසමින් විනිසුරු ‘VAR’ තාක්ෂණය භාවිතා කළ ද, බ්‍රසීලයට ඉතා අවශ්‍යව තිබූ හා ඔවුන් සෑහෙන බලාපොරොත්තුවකින් සිටි දඬුවම් පහර විනිසුරු ලබා දුන්නේ නැත.

(බ්‍රසීලයට පහසු දඬුවම් පහරක් සඳහා වාසනාව තිබුණේම නැත)

71 වන මිනිත්තුවේ දී බ්‍රසීලයේ MEUNIER හට කහ කාඩ්පතක් හිමි වූ අතර ඔහු මිට පෙරද කහ කාඩ්පතක් ලබා තිබූ නිසා බෙල්ජියම අවසන් පූර්ව තරගයට ගමන් කළහොත් ඔහුට එම තරගය අහිමි වනු ඇත.

බ්‍රසීලය සිය ආදේශක ක්‍රීඩකයින් තිදෙනාම භාවිතා කරමින් පන්දුව තමන් සතුවම තබා ගනිමින් ප්‍රබල උත්සාහයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස Coutinho යොමු කළ පන්දුවක් ඊට සුළු මොහොතකට පෙර පිටියට පිවිසුණු Renato Augusto 76 වන මිනිත්තුවේ දී ගෝල රාමුව තුලට සිය හිසෙන් යොමු කළේ වෙහෙසට පත්ව සිටි බෙල්ජියම් ආරක්ෂකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්ය.

(Augusto බ්‍රසීල බලාපොරොත්තු නැවත දල්වන්නට සමත් විය)

අනතුරුව තරගයේ ඊළඟ මිනිත්තු කිහිපයේ බ්‍රසීලය ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් Coutinho හා Augusto ඉතා ආසන්න අවස්ථා දෙකක් අපතේ යැව්වේ බ්‍රසීල ප්‍රේක්ෂකයින්ගේ දෑත් හිස මතට යවමිනි.

අවසාන මිනිත්තු පහ සඳහා කණ්ඩායම් දෙකම අවතීර්ණ වූ අතර 90+3 මිනිත්තුවේ දී NEYMARගේ විශිෂ්ට ප්‍රහාරයක් Courtois ව්‍යර්ථ කළේ බෙල්ජියම් ලෝක කුසලාන බලාපොරොත්තු වතුරේ යවමිනි.

අවසාන ලකුණු තත්වය: බ්‍රසීලය 01 – 02 බෙල්ජියම

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • බ්‍රසීලය- Renato Augusto 76’
  • බෙල්ජියම – FERNANDINHO 13′ (OG), DE BRUYNE 31′

උරුගුවේ කබලෙන් ලිපට වැටේ

Nizhny Novgorod හි Nizhny Novgorod ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ප්‍රංශයේ යොවුන් දක්ෂයා MBAPPEගේ හා උරුගුවේ හි CAVANIගේ ද්වන්ධ සටනක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමි වූයේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ගේ පෘතුගාලය පරාජය කරමින් පෙර තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ කවානි ආබාධයක් හේතුවෙන් අද තරගය ආරම්භ නොකළ නිසයි.

උරුගුවේ කණ්ඩායමේ ආරක්ෂක වළල්ල ඉතා ප්‍රබල මට්ටමක තිබූ අතර මේ දක්වා ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ එක් ගෝලයක් පමණි. අනෙක් අතට GRIEZMANN, MBAPPE හා GIROUD ක්‍රීඩා කළ ප්‍රංශ ඉදිරිපෙළ ඉතා ප්‍රබල වූ අතර එම නිසාම තරගය ඉතා උණුසුම් විය.

තරගයේ මුල සිටම උරුගුවේ ක්‍රීඩකයින්ට කවානිගේ අඩුව දැනුණු අතර උරුගුවේ කණ්ඩායමේ අවාසනාවට ඔවුන් තවත් කරදර රැසකට පත් කරමින් ඔවුන්ගේ ගෝල රකින්නා කලාතුරකින් සිදු වූ වරදක් සිදු කිරීම ද ඔවුන්ගේ පරාජයට හේතුවක් විය.

තරගයේ පළමු අර්ධය කණ්ඩායම් දෙකේම ආරක්ෂක ක්‍රීඩකයින් සිය ග්‍රහණයට ගත් අතර එමනිසා ප්‍රබල ගෝල රැස් කරන ක්‍රීඩකයින්ට එතරම් අවස්ථා හිමි වූයේ නැත.

පළමු මිනිත්තු කිහිපය පුරා ප්‍රංශ ක්‍රීඩකයින් පන්දුවත් සමඟ ක්‍රීඩා කළත් දඬුවම් පහර චතුරශ්‍රයට ආසන්නයේ ඔවුන්ට ආසන්න අවස්ථාවක් ලබා දීමට ප්‍රබල උරුගුවේ ආරක්ෂක වළල්ල ඉඩ තැබුවේ නැත.

38 වන මිනිත්තුවේ දී උරුගුවේ ක්‍රීඩක R. BENTANCUR හට කහ කාඩ්පතක් හිමි වූ අතර ඒ සමඟම ඔහු පෙර ද කහ කාඩ්පතක් ලබා තිබූ නිසා උරුගුවේ අවසන් පූර්ව වටයට පිවිසුණු හොත් ඔහුට එම තරගය ක්‍රීඩා කිරීමේ වරම් අහිමි වනු ඇත.

ඒ කහ කාඩ්පතත් සමඟින් ප්‍රංශයට වාසනාවන්ත නිදහස් පහරක් හිමි වූ අතර 40 වන මිනිත්තුවේ දී Antoine Griezmann ගුවනේ එවූ පන්දුව නිසි ස්ථානයෙන් ඉහළ නැගුණු රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක VARANE දක්ෂ ලෙස දැල තුලට යොමු කළේ පළමු අර්ධයේ පෙරමුණ ප්‍රංශයට ලබාදෙමින්.   

(VARANEගේ දක්ෂ ස්ථානගත වීමෙන් ප්‍රංශය පෙරමුණට පැමිණීමට සමත් විය)

ඉන් මිනිත්තු කිහිපයකට පසු උරුගුවේ වෙත ඉතා ආසන්න අවස්ථාවක් හිමි වූ අතර විශිෂ්ට ලෙස ගුවනේ පාවී ගිය ප්‍රංශ ගෝල රකින්නා, Hugo Lloris, Martin Caceresගේ දක්ෂ හිසෙන් පන්දු යොමු කිරීමක් නූලෙන් වැළැක්වූයේ උරුගුවේ බලාපොරොත්තු සුන් කරමිනි.

(නිසැක ගෝලයක් නවත්වමින් උරුගුවේ බලාපොරොත්තු සුන් කරන්නට, Hugo Lloris සමත්විය)

පළමු අර්ධය: ප්‍රංශය 01 – 00 උරුගුවේ

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ඉතා පරිණත ගෝල රකින්නෙක් වූ උරුගුවේ ගෝල රකින්නා, තරග හතරක දී එක් ගෝලයක් පමණක් ලබා දුන් ගෝල රකින්නා MUSLERA කලාතුරකින් සිදුවන වරදක් සිදු කළේ ප්‍රංශයට ගෝලයක් පූජා කරමිනි.

(GRIEZMANN දක්ෂ ලෙස පන්දුව ඉලක්කය වෙත යොමු කිරීමට සමත් විය)

61 වන මිනිත්තුවේ දී GRIEZMANN දඬුවම් පහර චතුරශ්‍රයට සෑහෙන එපිටින් සිටිමින් කළ ප්‍රහාරයක් MUSLERAගේ දෑතටම පැමිණි නමුත් ඔහුගේ අත් දෙකේ ගැටුණු පන්දුව දැල තුලට ගිය උරුගුවේ ලෝක කුසලාන බලාපොරොත්තු තව දුරටත් ඈතට යවමිනි.

(MUSLERA හට අවශ්‍යම තරගයේ දී අවශ්‍යම ගෝලයක් ආරක්ෂා කරගැනීමට නොහැකිවිය)

අනතුරුව 65 වන මිනිත්තුවේ දී MBAPPEගේ අපකීර්තිමත් රංගනයක් නිසා කණ්ඩායම් දෙක අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර එය තරගයේ උණුසුම තවත් ඉහළ යාමට හේතුවක් විය.

අනතුරුව දෙවන අර්ධය පුරා උරුගුවේ ක්‍රීඩකයින් කෙතරම් උත්සහ දැරූවද එකදු ඉලක්කගත අවස්ථාවක් හෝ ස්ථානගත කර ගැනීමට ඔවුන්ට හැකි නොවූ අතර නියමිත කාලය අවසානයේ ප්‍රංශය හයවැනි වතාවටත් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.  

අවසාන ලකුණු තත්වය: ප්‍රංශය 2-0 උරුගුවේ

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – VARANE 40′, GRIEZMANN 61’

(Photo-FIFA.com/getty images)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<