එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසන් විස්සයි විස්ස තරගය ඊයේ (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණයෙන් ශ්‍රී ලංකාවට පළමුව පන්දු යැවීමේ වගකීම බාර වුනා.
ඒ අනුව ආරම්භ වූ එංගලන්ත ඉනිම ඉතා විශිෂ්ට ලෙස අඩපණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනේ ඉනිමේ කඩුලු 6ක්ම ලකුණු 60ක් තුළ දවා ගනිමිනුයි. ඒ වන විට එංගලන්ත ඉනිමේ එකොළොස් වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබූ අතර, Liam Dawson සහ Sam Curran කඩුල්ලේ එක් වී සිටියා. ඒ වන තෙක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jos Buttler ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් ඉනිමේ 07 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක වටිනා සබඳතාවක් නිර්මාණය වූ අතර, මෙහි දී Curranගේ ඉවසිලිවන්ත ඉනිම විශේෂයෙන්ම කැපී පෙනුණා.
Curran ඉනිමේ අවසන් පන්දුවාරයේ පස් වැනි පන්දුව වන තෙක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 48කින් ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ඔහු එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් එක් කර ගැනීමට සමත් වුනා. මේත් සමඟ එංගලන්තය විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9කට ලකුණු 128ක් රැස් කිරීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුශ්මන්ත චමීර ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එංගලන්තයෙන් ලැබුණු පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනා. නමුත් පැතුම් නිස්සංක ඉක්මන් ඉනිමක් ක්‍රියාත්මක කරමින් පන්දු 12ක් තුල හයේ පහර 2ක්ද සමඟ ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.
එංගලන්තය ඉනිමට වඩා හාත්පසින් ම වෙනස් ආරම්භයක් ලැබූ ශ්‍රී ලංකාව සිය ඉනිමේ 09 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කඩුලු 2ක් පමණක් අහිමි වී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වී සිටියේ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 67ක් පමණක් අවශ්‍ය ව තිබූ අවස්ථාවකයි.
ශ්‍රී ලංකා ඉනිම තවත් වරෙක කඩුලු 5කට ලකුණු 90ක් ලෙස ද සටහන් වුනා. කෙසේ වෙතත් ඉනිමේ විසි වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව වන විට ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්තය සමත් වී තිබූ අතර, පැතුම්ට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගැනුමට සමත් වුනා.
ශ්‍රී ලංකා ඉනිම මර්දනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම එංගලන්තය දඟ පන්දුව සතු වූ අතර, මෙහි දී Jacob Bethell කඩුලු 4ක් සහ Will Jacks කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 116කට නිමා වීමත් සමඟ එංගලන්තයට මෙම තරගයෙන් ලකුණු 12ක ජයක් හිමි වුනා. එමෙන්ම තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය Sam Curran හට හිමි වුනා.
මේ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















