එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.
තරගාවලිය පරාජය නොවී සිටීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යෙන්ම ජය ගත යුතු තත්වයක තිබුණා. කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායකයා සතු වූ අතර, ඔහු විසින් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීම වෙනුවෙන් ආරාධනා කළා.
ඒ අනුව කමිල් මිශාර සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 5 පන්දු තුනක් තුළ ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.
මෙහි දී පැතුම් හයේ පහර 2ක් ද සමඟ පන්දු 22කින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් පිටියෙන් ඉවත් වී ගිය අතර, ඉන් පසුව කමිල් සමඟ කුසල් මෙන්ඩිස් කඩුල්ලේ එක් වෙමින් තවදුරටත් වේගවත් පිත්කරණයක නියැලීමට සමත් වුනා.
දළ ලකුණු වේගය 10 සීමාවේ රඳවා ගනිමින් ලකුණු 100 සපුරා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර, හයේ පහර දෙකක් සමඟ පන්දු 30කින් ලකුණු 36ක් ලැබූ කමිල්ගේ දැවී යාමත් සමඟ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ලකුණු 50ක සබඳතාව නිමා වුනා.
ඉන් අනතුරුව පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලද පවන් රත්නායක පිටියට අවතීර්ණ වුනත්, ඉන් මොහොතකට පසු එතෙක් වෙලා සාර්ථක පිතිකරණයක නියැලුණු කුසල් මෙන්ඩිස් පන්දු 17කින් ලකුණු 32ක් ලබමින් පිටියෙන් ඉවත් වුනා.
පවන් ද තමන්ට පෙර පිතිකරුවන් සේම ඉක්මනින් ලකුණු ලබා ගැනීමට සමත් වුනත්, පුරුදු පරිදි අනෙක් අන්තයෙන් ඉක්මන් කඩුලු දෙකක් බිඳ වැටුණා. කෙසේ වෙතත් හිටපු නායක චරිත් අසලංක පවන් සමඟ එක් වී පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී පවන් පන්දු 22ක් පමණක් වැය කරමින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි චරිත් පන්දු 22කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන කඩුලු 5කට ලකුණු 189ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී එංගලන්තය වෙනුවෙන් Jofra Archer කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට එංගලන්තය මින් අනතුරුව පිටියට අවතීර්ණ වුනා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලැබීමට ඉඩ ලබා නොදෙමින් ඔවුන්ගේ කඩුලු 2ක් ලකුණු 38ක් වන විට දවා ගැනීමට සමත් වූ අතර, එංගලන්ත ඉනිමේ 08 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට වර්ෂාවෙන් ද තරගයට බාධා එල්ල වුනා. ඒ වන විට එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 57ක් පමණක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, DLS න්‍යාය අනුව ඔවුන් තරගය පරාජය වන තත්වයක සිටියා.
කෙසේ වෙතත් වර්ෂාවෙන් අනතුරුව නැවත තරගය ආරම්භ වීමේ දී එංගලන්තයට පන්දුවාර 17කින් ලකුණු 168ක ඉලක්කයක් හිමි වුනා. එතැන් පටන් ඔවුන් ලකුණු ලැබීම වේගවත් කළ අතර, මෙහි දී ඉනිමේ තෙවන කඩුල්ල ලෙස Jos Buttler පන්දු 29කින් ලකුණු 38ක් ලබමින් පිටියෙන් ඉවත් වුනා.
ඉන් පසුව එංගලන්ත නායක Harry Brook පිටියට පිවිසෙමින් Tom Banton සමඟ කඩුල්ලේ එක් වුනා. මෙහි දී ඉතා වේගවත් ඉනිමක් දියත් කරමින් එංගලන්තයට නොතිබූ ජයක් සඳහා මාවත විවර කළ Brook පන්දු 12කින් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ද සමඟයි. ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 130ක් වන විට Brook දැවී ගියත්, ඉන් අනතුරුව එංගලන්තයට ඉතා පහසුවෙන් ලකුණු හඹා යාමට හැකි වුනා.
ඔවුන් පන්දුවාර 16 පන්දු 4ක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර, ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Banton හයේ පහර 3ක් සමඟ පන්දු 33කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වී සිටියා. එමෙන්ම Sam Curran නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
මෙම තරගයේ වීරයා සම්මානය Tom Banton හට හිමි වූ අතර, මෙම ජයත් සමඟ එංගලන්තය තරගාවලිය 2-0ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ද සමත් වී තිබෙනවා.
දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (03) පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















