රන්තරු සහ රත්නපාල රන් කුසලාන දිනා ගනී

Dialog President Gold Cup U25 Volleyball Championship 2025

4
Dialog President Gold Cup U25 Volleyball Championship

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (1) අවසන් වූ Dialog ජනාධිපති කුසලාන රන් කුසලාන වයස අවුරුදු 25න් පහළ කාන්තා සහ පිරිමි තරගාවලියේ ශූරයන් බවට පත් වීමට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සමත් වූ අතර ශූරියන් බවට පත් වූයේ මහඋස්සන්වැව රත්නපාල ක්‍රීඩා සමාජය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා Dialog Axiata PLC සමාගම පූර්ණ අනුග්‍රහය දැක් වූ අතර තරගාවලිය පළමුවෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ද සහ දෙවනුව පළාත් මට්ටමින් ද පැවැතියා. අනතුරු ව තරගාවලියේ අවසන් වටය සඳහා පළාත් මට්ටමේ දී ශූරතා සහ අනුශූරතා දිනූ කාන්තා සහ පිරිමි කණ්ඩායම් 36ක් එක් කර ගත් අතර ඒ අතුරිනුයි මෙම කණ්ඩායම් ද්විත්වය මෙවර ශූරයන් සහ ශූරියන් බවට පත් වූවේ.

තරගාවලියේ පිරිමි අංශයේ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ අතර කාන්තා අංශයේ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මහඋස්සාවැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ මහව විජයබා ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ගන්නවා.

ඒ අනුව පැවැති කාන්තා අවසන් තරගයේ දී තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහඋස්සාවැව රත්නපාල ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඔවුනොවුන් අතර පැවැති අවසන් තරගයේ පළමු වට ද්විත්වයේ දී 25-21ක් සහ 25-17ක් ලෙසින් ඉදිරියට පැමිණීමට මහඋස්සාවැව රත්නපාල ක්‍රීඩිකාවෝ සමත් වෙන අතර 3 වැනි වටය 25-15ක් ලෙසින් ජයග්‍රහණ කිරීමට මහව විජබා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඉන් අනතුරු ව පැවැති සිව් වැනි වටයේ දී තියුණු තරගයකින් අනතුරු ව මහඋස්සාවැව රත්නපාල ක්‍රීඩිකාවෝ එම වටය 25-23ක් ලෙසින් ජයග්‍රහණය කරමින් මෙවර ශූරතාවට හිමිකම් කියනවා.

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගන්නේ කිරිඳිවෙළ සංඝමිත්තා ක්‍රීඩා සමාජයයි.

කාන්තා තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවෝ

තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගය ඉතා තියුණු අවසානයකින් යුතු වූ අතර එහි දී තරග වට 3-2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සමත් වෙනවා. තරගයේ පළමු වට ද්විත්වයේ දී රන්තරු ක්‍රීඩා සමාජය 25-18ක් සහ 26-24ක් ලෙසින් ජයග්‍රහණය කරන ලද අතර 3 වැනි වටයේ දී රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩකයෝ 25-21ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

අනතුරු ව එම තත්ත්වය සිව් වැනි වටයේ දී ද පවත්වාගෙන ආ ඔවුන් එම වටය නැවත 25-21ක් ලෙසින් අවසන් කරමින් තරගය 2-2ක් ලෙසින් සම තත්ත්වයට ගෙන එනවා.

ඉන් අනතුරු ව කණ්ඩායම් ද්විත්වය අතර පැවැති තීරණාත්මක වටයේ දී ලකුණු 15-13ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සමත් වෙනවා.

තරගාවලියේ 3 වැනි ස්ථානය හිමි වූයේ නාත්තණ්ඩිය United ක්‍රීඩා සමාජටයි.

පිරිමි තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

  • Best Outside Hitter 1 : කේ. එස්. එම්. අයි. රත්නායක (රාජසිංහ ක්‍රීඩා සමාජය)
  • Best Outside Hitter 2 : කේ. එම්. වී. සී. විජේවික්‍රම (රන්තරු ක්‍රීඩා සමාජය)
  • Best Middle Player 1 : ඩී. එම්. පී. ඩී. බී. දිසානායක (රාජසිංහ ක්‍රීඩා සමාජය)
  • Best Middle Player 2 : එච්. පී. ආර්. ආර්. පුවක්පිටිය (රන්තරු ක්‍රීඩා සමාජය)
  • Best Opposite Player : ජේ. ඒ. යූ. පී. අදිකාරි (රාජසිංහ ක්‍රීඩා සමාජය)
  • Best Setter : එල්. ආර්. සී. ලියනගේ (රන්තරු ක්‍රීඩා සමාජය)
  • Best Libero : එච්. පී. එන්. තත්සර (රන්තරු ක්‍රීඩා සමාජය)
  • Most Valuable Player : එස්. ආර්. ජේ. දිසානායක (රන්තරු ක්‍රීඩා සමාජය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<