Hayleys හා ගැටීමට CDB A කණ්ඩායම අවසන් මහා තරගයට

10th Singer - MCA Super Premier League T20 Tournament 2025

27
MCA T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයෙන් Fairfirst Insuarance ක්‍රීඩකයන්ට එරෙහි ව ලකුණු 68ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට CDB A ක්‍රීඩකයෝ අද (29) සමත් වෙනවා.

කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ Fairfirst Insuarance කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CDB A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 152ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Fairfirst Insuarance ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 84ක් පමණයි.

Fairfirst Insuarance කණ්ඩායම

 

මෝදිත රණතුංග (නායක), තනුක දාබරේ, ගවිරු සෙන්හස්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), අනුක් ප්‍රනාන්දු, ගයන වීරසිංහ, දිනුර කළුපහන, සෙනිත හැළඹගේ, නිමේෂ් විමුක්ති, ඉම්තියාස් ස්ලාසා සහ දිලුම් සුදීර.

CDB A කණ්ඩායම

 

සොනාල් දිනූෂ (නායක), පුලිඳු පෙරේරා, ශෙවෝන් ඩැනියෙල්, පවන්ත වීරසිංහ, මොවින් සුබසිංහ, තරිඳු රත්නායක, මුදිත ලක්ෂාන්, ලසිත් අබේරත්න (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ඉසිත විජේසුන්දර සහ නවිඳු ප්‍රභාෂ්.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CDB A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

ඔහු අනෙක් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියෙල් හා එක් ව පළමු කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කරනවා. එහි දී ශෙවෝන් ඩැනියෙල් පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව නායක සොනාල් දිනූෂ පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී තනුක දාබරේ ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙනවා. ඊට අමතර ව දිලුම් සුදීර කඩුලු 2ක් ද, අනුක් ප්‍රනාන්දු, ඉම්තියාස් ස්ලාසා සහ සෙනිත හැළඹගේ කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායම් ඉනිම අමාරුවේ දැමීමේ දී පෙරමුණ ගත්තේ මුදිත ලක්ෂාන්. ඔහු ලකුණු 12කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහු ඒ ලෙසින් දක්ෂතා දක්වද්දී නිමේෂ් විමුක්ති පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද සහ අනුක් ප්‍රනාන්දු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන්ට අමතර ව පවන්ත වීරසිංහ, නිපුන් ධනංජය, තරිඳු රත්නායක, මොවින් සුබසිංහ සහ ඉසිත විජේසුන්දර ද කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • CDB A: සියලුම දෙනා දැවී 152 (18.5) පුළිඳු පෙරේරා 50, ශෙවෝන් ඩැනියෙල් 33, සොනාල් දිනූෂ 33, තනුක දාබරේ 4/28, දිලුම් සුදීර 2/19
  • Fairfirst Insuarance :සියලුම දෙනා දැවී 84 (17.2) අනුක් ප්‍රනාන්දු 20, නිමේෂ් විමුක්ති 30, මුදිත ලක්ෂාන් 5/12

CDB A කණ්ඩායමට ලකුණු 68ක ජයක්.

Hayleys Group A කණ්ඩායම සහ CDB A කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වැනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<