කාන්තා කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා – සුමතිපාල

194
Sl Women's Cricket team 2017

ලෝක කාන්තා කුසලානයට සහභාගී වීම සඳහා අද සවස එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉලක්කය පිරිමි ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දෙන කැපවීම හා සමාන කැපවීමක් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය සඳහා ද ලබා දී එය ශ්‍රී ලංකාව තුළ වර්ධනය කිරීම බවයි.

පන්දු රකින්නන්ගේ දෑත් අතරින් ශූරයින්ගේ කුසලානය බිම වැටෙයි

අද කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය සඳහා සූදානම් වූ ආකාරය පෙන්වා දෙමින් සුමතිපාල මහතා කණ්ඩායම පිළිබඳව ඔහුට දැඩි විශ්වාසයක් පවතින බව අවධාරණය කළේය.

“අපිට හොඳ විශ්වාසයක් තිබෙනවා. පෙර කණ්ඩායම් ගැන තිබූ විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙවර කණ්ඩායම පිළිබඳව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයින් කලින් දැකලා නැති ආකාරයේ තරගකාරීත්වයක් මෙම කණ්ඩායමෙන් දැක ගන්න පුළුවන් වෙයි.”

පසුගිය මාස කිහිපය පුරාවට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටියේ දී මෙන්ම ඉන් පිටත දී ද දැඩි කැපවීමකින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් පෙන්වූ වර්ධනය පිළිබඳව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා ද අදහස් දැක්වීය.

“මම කණ්ඩායමෙන් බලාපොරොත්තු වුණේ 10–15% ක පමණ වර්ධනයක්. නමුත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඒ බලාපොරොත්තු ඉක්මවා ගියා. මම හිතන විදිහට අපි දැන් ඊට වඩා ඉහළ වර්ධනයක් ලබාගෙන සිටින්නේ. ඒක අපි ක්‍රීඩා කරපු පුහුණු තරග කිහිපයේ දී හොඳින්ම පැහැදිලි වුනා. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී අපට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ද ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තිබෙනවා.”

පසුගිය සතියේ දී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හට දින පහක නේවාසික පුහුණු කඳවුරක් මහනුවර දී පවත්වන ලදි. එය එංගලන්තයේ තිබෙන වාතාවරණය සඳහා අනුගත වීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව ක්‍රීඩිකාවන් ප්‍රකාශ කළේය.

ThePapare.com සමඟ අදහස් දක්වමින් කණ්ඩායමේ සිටින වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි පැවසුවේ,

“මහනුවර දී අපට ලබා දුන් පහසුකම් ගොඩක් ඉහළයි. එහි දී අපි පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ උදේ පාන්දර. ඒ වගේම ඒ දවස් වල මහනුවරට හොඳ ශීත කාලගුණ තත්වයක් තිබුණා. ඒ නිසා ඒ අත්දැකීම එංගලන්තයේ දී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මෙවර තරගාවලියේ දී අපට යමක් කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන් තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්වෙන නිසා අපිට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.”

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම අද එංගලන්තය බලා පිටත්ව යන අතර ඔවුන් හට එංගලන්තයේ දී දින පහක දේශගුණයට අනුගත කිරීමේ වැඩසටහනක් පැවැත්වෙනු ඇත. එමෙන්ම ඔවුන් මෙම මස (ජුනි) 19 වන දින එංගලන්ත කණ්ඩායමට එරෙහිවත්, 21 වන දින ඉන්දියානු කණ්ඩායමට එරෙහිවත් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත ය. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 24 වන දින නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට