Pelicans පාපන්දු සමාජය Champions League ශූරතාව දිනයි!

2
Champions League Sri Lanka 2025/26

2025/26 දේශීය පාපන්දු තරග වාරයට අදාළ ව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා Champions League පාපන්දු ලීගයේ සුපිරි 08 වටයේ හත් වැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම සති අන්තයේ තරග ද සමඟ මෙවර ලීගයට අදාළ සියලු තරග ක්‍රියාත්මක වී අවසන් වූ අතර, එම තරග තොරතුරු සියල්ල පහතින් දැක්වෙනවා.

මාර්තු 14 (සෙනසුරාදා)

Saunders SC සහ Serendib SC

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට Serendib ක්‍රීඩකයින් විසින් ගෝල ද්විත්වයක් රැස් කරමින් තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ Serendib ක්‍රීඩකයින් විසින් තවත් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Saunders කණ්ඩායම ද එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.

Serendib SC 3 – Saunders SC 1

Solid SC සහ Java Lane SC

මෙම තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, කණ්ඩායම් දෙකම තරගය අවසන් වන විට එක් ගෝලය බැගින් වාර්තා කර ගැනීමට සමත් වී සිටියා. ඒ අනුව තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුනා.

Solid SC 1 – Java Lane SC 1

මාර්තු 15 (ඉරිදා)

Police SC සහ St. Mary’s SC

මෙම තරගයේ දී වාර්තා වූ එකම ගෝලය St. Mary’s කණ්ඩායම පාර්ශවයෙන් වාර්තා වූ අතර, එම ගෝලයත් සමඟ ඔවුන්ට තරගයේ ජය හිමි වුනා.

Mary’s SC 1 – Police SC 0

Pelicans SC සහ New Star SC

මෙවර ලීගයේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙමින් මෙම තරගයට අවතීර්ණ වූ Pelicans කණ්ඩායම විසින් මෙම තරගයත් පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා. මෙහි දී Pelicans කණ්ඩායම විසින් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, New Star කණ්ඩායම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

Pelicans SC 1 – New Star 0

මේ අනුව මෙවර පාපන්දු ලීගයේ සුපිරි 08 වටයේ තරග 07 බැගින් සෑම කණ්ඩායමක් ම ක්‍රීඩා කළ අතර, ඒ අතුරින් තරග 05ක් ජය ගැනීමට සමත් වූ සහ ඉතිරි තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමා කිරීමට සමත් වු Pelicans කණ්ඩායම අපරාජිත ව ලකුණු 17ක් ලබමින් ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වුනේ, දේශීය පාපන්දු ලීගයේ ශූරතාව තමන් සතු කර ගනිමිනුයි.

මින් අනතුරුව එළඹෙන මාර්තු 21 සිට නව පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ අවසන් තරගය එළඹෙන අප්‍රේල් මස 04 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

එදින ම ලීග් ශූරයින්ට මෙන්ම, පිළිමළුන් පිටු දැකීමේ ශූරයින්ට ද ශූරතා කුසලාන පිරිනැමීමට නියමිත බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දැනුම් දී තිබෙන්නේ.

දේශීය පාපන්දු පිටිය පිළිබඳ සියලු උණුසුම් තති විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>