ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයට පරාජය වෙයි

CAVA U-19 Women Volleyball Championship 2025

2
CAVA U-19 Women Volleyball Championship 2025

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ තම 2 වැනි තරගයෙන් තරග වට 3-1කින් නේපාලයට පරාජය වීමට සිදු වූවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී (05) පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුව යොමු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු වූ අතර පළමු ලකුණු කිහිපයේ දී ප්‍රතිවාදී නේපාලය ඉදිරියෙන් පසු වූවා.

නමුත් ලකුණු 4 සිට දෙපිල මාරුවෙන් මාරුවට ලකුණු ලබා ගත් අතර එම තත්ත්වය වෙනස් වෙන්නේ 9-7ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පිවිසීමත් සමඟිනුයි. නමුත් එතැන් සිට නැවත ලකුණු 2ක් ලබා ගනිමින් නේපාලය තරගය සම තත්ත්වයට ගෙන එනවා.

ඉන් අනතුරු ව දෙපිලයට දෝලනය වූ තරගයේ ලකුණු තත්ත්වය 13-11ක් වෙමින් නේපාලය ඉදිරියෙන් පසුවෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු විවේක කාලය ලබා ගත්තා. ඉන් අනතුරු ව කාලයේ දී නේපාලය වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියෙන් පසු වෙද්දී නැවත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් විවේක කාලයක් ලබා ගන්නවා. ඒ වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ 21-17ක් ලෙසයි.

එම විවේක කාලයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක් ලකුණක් පමණක් ප්‍රදානය කරමින් නේපාලය තරගයේ පළමු වටය 25-18ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

තරගයේ දෙවැනි වටයේ ආරම්භය ද නේපාල ක්‍රීඩිකාවන්ගේ වාසියට නතු වුණා. ඔවුන් වැඩි පරතරයක් තබා ගෙන තරගය ඉදිරියට ගෙන ගිය ද ලකුණු පුවරුව 6-7ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආක්‍රමණය කරද්දී නේපාලය විසින් ම මෙම වටයේ පළමු විවේකය ලබා ගන්නවා.

එම විවේකයෙන් අනතුරු ව ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම රිද්මය ඒ ලෙසින් ම රැගෙන යෑමට සමත් වුණා. එලෙසින් පැවැති තරගයේ ලකුණු තත්ත්වය 21-19ක් ලෙසින් නේපාලය ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම පළමු විවේකය ලබා ගන්නවා. එම විවේකයෙන් අනතුරු ව ලකුණු 2ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු තත්ත්වය සම තත්ත්වයට ගෙන එනවා.

එම අවස්ථාවේ දී නේපාලය නැවත වතාවක් විවේක කාලයක් ලබා ගත්තා. එහෙත් ඊට පසුව ද ලකුණු 2ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියට පැමිණිමට සමත් වෙනවා. නමුත් නේපාලය නැවත ලකුණු ද්විත්වයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය 23-23ක් ලෙසින් සම කරනවා.

ඉන් අනතුරු ව ලකුණු තත්ත්වය 24-24ක් ලෙසින් සම තත්ත්වයට පත් වූව ද අවසානයේ දී ලකුණු 26-24ක් ලෙසින් තරගය ජයග්‍රහණය කිරීමට නේපාල ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

තරග වට 2-0ක් ලෙසින් ඉදිරියට සිටිමින් තෙවැනි වටයට පිවිසි දෙරට ක්‍රීඩිකාවෝ නැවතත් තියුණු තරගයක් නිර්මාණය කළා. එම තත්ත්වය මඟ හැරි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු පුවරුව 11-6ක් ඉදිරියට ගෙන ගියා.

අනතුරු ව ලකුණු තත්ත්වය 18-9ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිය දී ප්‍රතිවාදීන් විසින් තරගයේ පළමු විවේකය ලබා ගත්තා. නැවත තරගයේ විවේක කාලයක් ලබා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ. ඔවුන් ඒ වෙද්දී ලකුණු 23-17ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.

ඉන් අනතුරු ව තරගයේ 3 වැනි වටය ලකුණු 25-19ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය 2-1ක් බවට පත් කරමින් තවත් වටයකට ගෙන ගියා.

එම වටය ආරම්භයේ දී ම නේපාලය ලකුණු පුවරුවේ ඉදිරියට පැමිණීමට සමත් වීම කැපී පෙණුනා. ඔවුන් එම වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා ගත් පළමු විවේකය වෙද්දී ලකුණු 10-4ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.

එතැන් සිට තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වූ අතර ඒ අනුව ලකුණු පුවරුව 13-11ක් ලෙසින් නේපාලය ඉදිරියෙන් සිටිය දී නේපාලය විසින් ම තම පළමු විවේකය ලබා ගත්තා. කෙසේ වෙතත් ඉන් අනතුරු ව ලකුණු තත්ත්වය 13-13ක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඉන් අනතුරු ව ලකුණු 17ක් දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිය ද ලකුණු තත්ත්වයට 21-19ක් ලෙසින් නේපාලය ඉදිරියට යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම 2 වැනි විවේක කාලය ද ලබා ගන්නවා.

එහෙත් ඉන් පසුව ලකුණු 25-20ක් ලෙස පරතරයක් තබා ගත් නේපාල ක්‍රීඩිකාවෝ තරගය තරගවට 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි තරගය කිරිගිස්තානය සමඟින් හෙට (6) සවස 4.30ට පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම ThePapare.com, ThePapare 2 (Dialog TV චැනල් 63) සහ Dialog ViU app මඟින් ඒ ලෙසින් ම දැක බලා ගැනීමට ThePapare.com ඔබ වෙත පහසුකම් සලසා තිබෙනවා.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<