ශ්‍රී ලංකාව මධ්‍යම ආසියාවේ තෙවැනියා වෙයි

169
CAVA Men's Volleyball Nations League

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කළ CAVA Nations කුසලාන පිරිමි වොලිබෝල් ලීග් තරගාවලියේ 3 වැනි ස්ථානයට පත් වෙමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (28) සමත් වුණා.

බංග්ලාදේශයේ Dhaka හි දී පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඊට හිමි රන් පදක්කම හිමිකර ගන්නේ ටර්මකිස්තානයයි. තරගාවලියේ අනුශුරතාව දිනා ගනිමින් එහි රිදී පදක්කම හිමි වූයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමටයි.

ටර්මකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති අවසන් මහා තරගයේ පළමු වටයෙන් ලකුණු 20-25ක පරාජයක් ලැබූ ටර්මකිස්තානය දෙවැනි වටයේ දී 25-16ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගයට අවතීරණ වෙනවා. නමුත් තෙවැනි වටයේ දී ඔවුන්ට හිමි වෙන්නේ පරාජයයි. ලකුණු තත්ත්වය පැවැතියේ 18-25ක් ලෙසිනුයි.

ඒ අනුව 2-1ක් ලෙසින් ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් පසු වෙද්දී තරගයට පිවිසි ටර්මකිස්තාන ක්‍රීඩකයෝ ඉතිරි වට ද්විත්වය 25-20ක් සහ 15-12ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගයේ වට 3-2ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා පැවැතියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයයි. පළමු වටයේ දී ද මෙම කණ්ඩායම් 2 එකිනෙකා හමු වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට තරගවට 2-3ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙම තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගන්නවා.

තරගයේ පළමු වටයේ පළමු පන්දු පිරිනැමීමේ සිට ම ඉදිරියෙන් පසු වීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ලකුණු තත්ත්වය 11-6ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශය පළමු විවේකකාලය ලබා ගන්නවා. අනතුරු ව ඔවුන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 20-16ක් ලෙසින් ඉදිරියෙන් සිටිය දී ද ඔවුන් විවේකයක් ලබා ගන්නවා.

අනතුරු ව ලකුණු තත්ත්වය 23-20ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වෙද්දී, ශ්‍රී ලංකාව විසින් පළමු විවේකය ලබා ගන්නවා. ඒ වෙද්දී පන්දු පිරීනැමීම ප්‍රතිවාදීන් සතු ව තිබූ අතර ගත් විවේකයෙන් පසුව ඉතිරි ලකුණු ද්විත්වය ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු තරග වටය 25-20ක් ලෙසින් ජයග්‍රහණය කරමින් අවසන් කරනවා.

අනතුරු ව පැවැති 2 වැනි වටයේ දී ද ශ්‍රී ලංකාවට තරමක තරගකාරීත්වයක් ලබා දීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් වරෙක ලකුණු පුවරුව 6-3ක් ලෙසින් ඉදිරියට ගෙන ගියා. කෙසේ වෙතත් ලකුණු 7 දී සම ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එසේ වූවත්, ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට තරගයේ ඉදිරියට පැමිණීමට හැකි වෙන්නේ ඊටත් ලකුණු 2කට පසුවයි. ඒ අනුව එතැන් සිට ලකුණු 11ක් දක්වා ලකුණෙන් ලකුණු සම තත්ත්වයෙන් පවත්වාගෙන ආ ලකුණු පුවරුව 12 වැනි ලකුණේ සිට ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. අනතුරු ව ලකුණු තත්ත්වය 16-13ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙද්දී මෙම වටයේ පළමු විවේක කාලය බංග්ලාදේශය විසින් ලබා ගන්නවා.

අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය අවසන් කිරීමට අවසන් ලකුණු 5ක් ලබා ගනිද්දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 7ක් ලබා ගනිමින් තියුණු තරගයකට අවතීර්ණ වෙනවා. කෙසේ වෙතත් ලකුණු තත්ත්වය 24-21ක් සහ 24-23ක් ලෙසින් තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිට පිට තරග විවේකයන් ලබා ගන්නා ලද අතර තරගය අවසන් වෙන්නේ 25-23ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදීයි.

තීරණාත්මක තෙවැනි වටයේ ආරම්භයේ සිට ම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත සමත් වෙනවා. ඔවුන් එලෙසින් ගෙන ආ ලකුණු පුවරුව වරෙක 6-2ක් ලෙසින් ශ්‍රී ලංකාවට වාසි දායක ලෙස පැවැතියා. නමුත් බංග්ලාදේශය ඒ අවස්ථාවේ දී පිට පිට ලකුණු 4ක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන ඒමට සමත් වෙනවා.

එලෙසින් පැවැති තරගය නැවත 10-7ක් ලෙසින් ඉදියෙන් සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ ලෙසින් පැවැති තරගයේ ලකුණු 12-8ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙද්දී බංග්ලාදේශය විසින් පළමු විවේක කාලය ලබා ගන්නවා.

එම විවේකයෙන් අනතුරු ව ද තම රිද්මය ඒ ලෙසින් ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙන අතර ලකුණු තත්ත්වය 20-16ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වෙද්දී නැවත බංග්ලාදේශය විවේක කාලයක් ලබා ගන්නවා. එම විවේක කාලයෙන් අනතුරු ව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපුරුදු රිද්මයෙන් ම තරගයට එක් වූ අතර ඔවුන් තරගය අවසන් කරන්නේ 25-20ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ 3 වැනි ස්ථානයටත් සහ බංග්ලාදේශය 4 වැනි ස්ථානයත් පත් වුණා.

මේ අතර තරගාවලියේ 5 වැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයෙන් මාලදිවයිනට එරෙහි ව තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එම තරගයේ පළමු වටය 29-27ක් ලෙසත් සහ 2 වැනි වටය 25-20ක් ලෙසත් නේපාල ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ අතර තෙවැනි වටයේ තරගය ඉතා තියුණු තත්ත්වයක පැවැතියා. එම තරග වටය නිමා වෙන්නේ 37-35ක් ලෙසින් මාලදිවයින කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමින්.

එම වටයෙන් අනතුරු ව තීරණාත්මක සිව් වැනි වටයේ දී නැවත ලකුණු 25-20ක් ලෙසින් ජයග්‍රහණය කළ නේපාල ක්‍රීඩකයෝ තරගාවලියේ 5 වැනි කණ්ඩායම ලෙසින් තේරී පත් වූ අතරත පරාජිත මාලදිවයින කණ්ඩායම 6 වැනි ස්ථානයට පත් වුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<