මහානාම විද්‍යාලය එක්දින රන් කුසලානය දිනා ගනී

16th Battle of the Golds

6

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වූවා. 

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී (18) පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 36ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය මහානාම විද්‍යාලය විසින් දිනා ගත්තා.  

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම 

අනුක විජේවර්ධන (නායක), දුල්නිත් සිගේරා, සිනෙත් වීරරත්න, සනුල් වීරරත්න, චාමික හීනටිගල, එශාන් විතානගේ (කඩුලු රකින්නා), සිතුම් විහඟ, තවිරු පෙරේරා, ගිමන්ත දිසානායක, ඔසඳ මුතුගම සහ ගීත් සඳරුවන්. 

 

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

මලිත පෙරේරා (නායක), ඔමල්ක හපුආරච්චි, ජනිඳු රණසිංහ, බිහාන් ගමගේ, ශනෙල් ගමගේ, ශනෙල් බිනුශ්ක, රන්දීශ බණ්ඩාරනායක, චනුල් අතලගේ, චිතුන් බද්දගේ, සොහාන් යාපා (කඩුලු රකින්නා), දැහැම් නිර්මාල් සහ ඩිල්ශ් කුමරනායක. 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශනෙල් බිනුශ්ක. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.  

ඊට අමතර ව චිතුන් බද්දගේ පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ද සහ රන්දීශ බණ්ඩාරනායක පන්දු 38කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ගිමන්ත දිසානායක ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුල්නිත් සිගේරා සහ සිතුම් විහඟ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ඉනිම ක්‍රියාත්මක වෙද්දී නැවත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙනවා. එම අවස්ථාවේ තරගය නතර වෙද්දී මහානාම විද්‍යාලය පන්දු වාර 7.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටියා. අනතුරු ව නැවත තරගය ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට පන්දුවාර 25ක දී ලකුණු 95ක අභියෝගයක් ලබා දෙමින්.  

එහෙත් නැවත 16 වැනි පන්දු වාරයේ සිව් වැනි පන්දුව යවා තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන අතර එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඒ වෙද්දී මහානාම විද්‍යාලයීය ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලෙසින් දැක් වුණ අතර එය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූවා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ සනුල් වීරරත්න පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමින් ද දක්ෂතා දක්වා තිබුණා.   

කඩුලු දවා ගැනීමේ දී චිතුන් බද්දගේ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර ඊට අමතර ව රන්දීශ බණ්ඩාරනායක කඩුලු ද්විත්වයක් ද සහ ශනෙල් බිනුශ්ක කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියලුම දෙනා දැවී 116 (29.3) ශනෙල් බිනුශ්ක 38, රන්දීශ බණ්ඩාරනායක 18, චිතුන් බද්දගේ 19, සිතුම් විහඟ 2/42, ගිමන්ත දිසානායක 5/16

මහානාම විද්‍යාලය – කඩුලු 7ක් දැවී 95 (16.4) දුල්නිත් සිගේරා 26, සනුල් වීරරත්න 20, රන්දීශ බණ්ඩානායක 2/27, චිතුන් බද්දගේ 3/13

 

මහානාම විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයක්. 

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – අනුක විජේවර්ධන (මහානාම විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ගිමන්ත දිසානායක (මහානාම විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ශනෙල් බිනුශ්ක (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • තරගයේ වීරයා – ගිමන්ත දිසානායක (මහානාම විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<