බංග්ලාදේශය මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ ගැටලුව මේ වන විට තරමක් උග්‍ර තත්වයකට පැමිණ තිබෙනවා.
මෙම ගැටලුවේ ආරම්භය පිළිබඳ මීට පෙර ලිපියක් මගින් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළ අතර, එම ලිපිය වෙත මෙතැනින් යොමු විය හැකි.
එම කාලය වන විට බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට එකඟ වී සිටි නමුත්, ඔවුන් ඉන්දියාවට සංචාරය කිරීම සහ එහි ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. එවිට පාකිස්තානය බංග්ලාදේශය වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමට පවා උත්සාහ ගත් අතර, බංග්ලාදේශය නිරන්තරයෙන් ම සඳහන් කළේ තමන් ශ්‍රී ලංකාවේ තරග ක්‍රීඩා කිරීමට එකඟ වන බවයි.
මේ පිළිබඳ ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් අතර, දීර්ඝ සාකච්ඡා රාශියක් ඇති වුනා. නමුත් ඒවා කිසිවක් සාර්ථක අයුරින් නිම නොවීම ප්‍රධාන ගැටලුව වුනා.
අවසානයේ ICC නියෝජිතයින් බංග්ලාදේශයට පවා ගොස් සාකච්ඡා වෙනුවෙන් යොමු වූ නමුත්, බංග්ලාදේශය තම මතය වෙනස් කිරීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ.
එවන් වටපිටාවත් තුළ ඊයේ (21) දිනයේ මෙම ගැටලුව උච්චතම අවස්ථාවකට රැගෙන ආ ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක තීරණ කාලයක් ලබා දීමට තීරණය කළා.
බංග්ලාදේශය නොමැති නම් ස්කොට්ලන්තයට අවස්ථාව!
බංග්ලාදේශ රජය සමඟ සාකච්ඡා කර මෙවර ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ තීරණයක් ලබාගන්නා මෙන් ICC විසින් බංග්ලාදේශ ක්‍රිකට් වෙත ඊයේ දැනුම් දුන්නා. කෙසේ වෙතත් ඔවුන් ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කරනවා නම් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තයට මෙවර ලෝක කුසලාන වරම් හිමි වනු ඇති බවට ද ඊයේ ICC විසින් අනතුරු අඟවා තිබුණා.
ඊයේ පැවැත්වුණු විශේෂ ICC රැස්වීමකින් අනතුරුව මෙම තීරණයට එළඹී තිබුණා. මෙයට විවිධ රටවල ක්‍රිකට් ප්‍රධානීන් 15 දෙනෙකු සහභාගී වූ බව ESPN වෙබ් අඩවිය විසින් සඳහන් කරන අතර, එහි දී පාකිස්තානය පමණක් බංග්ලාදේශය වෙනුවෙන් සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්තානය විසින් ඊට පෙර තමන් බංග්ලාදේශයට සහය ලබා දෙන බව ICC වෙත දන්වා තිබුණා. එයින් පසුවයි මෙම විශේෂ රැස්වීම කැඳවීමට පවා තීරණය කර තිබුණේ.
මෙහි දී ICC විසින් සඳහන් කරන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට මෙන්ම රසිකයින්ට ද ඉන්දියාව ආරක්ෂිත බවයි. එමෙන්ම බංග්ලාදේශය විසින් දේශීය ක්‍රිකට් ලීගයකට (IPL) අදාළ තනි ක්‍රීඩකයකුගේ ගැටලුවක් මෙයට ඈඳා ගන්නා බවයි ICC පාර්ශවයෙන් සඳහන් වී තිබුණේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
බංග්ලාදේශයෙන් පිළිතුරු
“මම මේක පැහැදිලි කරලා දෙන්නම්. ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීම රජය විසින් ගත් තීරණයක්.“
බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක Asif Nazrul එසේ පවසනවා.
මෙම තීරණය අද (22) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර, ඊට පෙර බංග්ලාදේශ රජය, ක්‍රිකට් නියෝජිතයින් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් ද විශේෂ හමුවකට එක් වුනා. එහි දී ඔවුන් තවමත් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ අදහස අත් හැර නොමැති බවත් තහවුරු වී තිබෙනවා.
“ආරක්ෂාව ගැන ප්‍රශ්නය Theory එකක් නෙවෙයි, ඒක ප්‍රායෝගික ගැටලුවක්.“
ඉන්දියාවට තමන්ගේ රටේ එක් ක්‍රීඩකයකුට ආරක්ෂාව ලබා දිය නොහැකි නම්, තම කණ්ඩායමට ම ආරක්ෂාව සලසන්නේ කෙසේ දැයි Nazrul විමසනවා.
“ICC එක අපිට ඒත්තු ගන්වන්න උත්සාහ කළේ නැහැ. ඔවුන් අපේ ගැටලුව ගැන සාකච්ඡා කරනවාට වඩා කළේ ඔවුන්ගේ සම්මත ආරක්ෂක සැලැස්ම ගැන කතා කරපු එක විතරයි. ඉන්දීය රජයත් අපිට ඒත්තු ගන්වන්න උත්සාහ කළේ නැහැ. Mustafizurගේ සිදුවීම හුදකලා සිදුවීමක් බවත් ඔවුන් සඳහන් කළේ නැහැ. ඒ වගේම අපි සමඟ සාකච්ඡා කළෙත් නැහැ.“
මේ නිසාවෙන් තම තීරණය වෙනස් නොකරන බව Nazrul අද ප්‍රකාශ කළා.
තමන්ට ICC වෙතින් යුක්තිය ඉටු නොවූ බවත්, මීට පෙර ආරක්ෂාව පිළිබඳ ගැටලුවල දී ICC වෙතින් නම්‍යශීලී ප්‍රතිපත්ති පිළිබිඹු වූ බවත් ඔහු මෙහි දී සඳහන් කරනවා.
ICC ප්‍රතිපත්ති විවේචනය දැඩි වෙයි!
මෙම දැනුම්දීමේ දී බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Aminul Islam විසින් ICC වෙත දැඩි විවේචන එල්ල කර තිබීම විශේෂත්වයක්.
මෙහි දී ඔහු විසින් පසුගිය වසරේ පැවැත්වුණු ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දියාවට වරප්‍රසාද හිමි වූ බව විශේෂයෙන්ම සඳහන් කර තිබුණා. එමෙන්ම මෙහි දී ICC විසින් 1996, 2003 ලෝක කුසලාන තරගාවලිවල දී බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියා, නවසීලන්ත මෙන්ම එංගල්න්ත කණ්ඩායම් තම ආරක්ෂාව වෙනුවෙන් තරග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කල අවස්ථා උලුප්පා දැක්වූ බව ඔහු පවසනවා.
“ICC අපිට 1996 සහ 2003 ලෝක කුසලාන ගැන කියන්න උත්සාහ කළා. ඒත් අපි ඔවුන්ට පෙන්වා දුන්නා ඔවුන් මෑතකාලීන ව ඒ වගේ අවස්ථාවල ගත් පියවර ගැන.
පසුගිය ශූරයින්ගේ කුසලානයේ දී රටක් තවත් රටකට යෑම වර්ජනය කළ විට ICC විසින් ඔවුන් වෙනුවෙන් මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක් ලබා දුන්නා. එම කණ්ඩායම (ඉන්දියාව) තමන්ගේ සියලු තරග එහි දී ක්‍රීඩා කළා. එකම හෝටලයක නැවතී සිටියා. එය වරප්‍රසාදයක්.
ශ්‍රී ලංකාව සම සත්කාරක රටක් කිව්වට, ඒක එහෙම නෙවෙයි. ශ්‍රී ලංකාව කියන්නේ ලෝක කුසලානයේ දෙමුහුන් ආකෘතියේ කොටසක්. අපේ රජය ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට ඉඩ දීමට මැලි වන නිසා, අපි මෙම විකල්පය (ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට) කැමති බව ICC වෙත සඳහන් කළා. ඔවුන් අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අපි ශ්‍රී ලංකාවේ ලෝක කුසලානය ක්‍රීඩා කරන්න සූදානම්. ඒත් අපිට ඉන්දියාව ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ.“
දෙමුහුන් ආකෘතියක් (සත්කාරක රටවල) යටතේ ලෝක කුසලානය ක්‍රීඩා කරන නිසා තමන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටි බවයි Aminul පවසන්නේ.
පසුගිය වසරේ දී ICC විසින් ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරග වෙනුවෙන් මෙම දෙමුහුන් ආකෘතිය විසඳුමක් ලෙස රැගෙන ආවා. ඉන් පසුව එය 2024-27 තරග වාරය වෙනුවෙන් රැගෙන ආ අතර නිමා වූ ශූරයින්ගේ කුසලානයට මෙන්ම 2025 කාන්තා ලෝක කුසලානයට ද එම ආකෘතිය ක්‍රියාත්මක කළා.
ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන ගැටුම් සියල්ලක් ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇති.
“අපි බංග්ලාදේශ ක්‍රිකට් ගැන ආඩම්බර වෙනවා, ඒත් අපිට ලෝක ක්‍රිකට් ගැට තියෙන්නේ සැකයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය බව පිරිහෙමින් තියෙන කාලයක ICC විසින් ක්‍රිකට්වලට ආදරය කරන මිලියන 200ක ජනතාවක් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් යන මොහොතක, ඉන්දියාව විසින් ඔලිම්පික් සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ලංසු තබන මොහොතක බංග්ලාදේශය වැනි රටක් ලෝක කුසලානය නොයෑම ඔවුන්ගේ (ඉන්දියාවේ) අසාර්ථකත්වයේ කොටසක් වේවී. අපි ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අදහස අත් හරින්නේ නැහැ. ගෝලීය සංවිධානයකට බැහැ පැය විසි හතරක සීමා කාලයක් ලබා දෙන්න. අපි දිගටම සටන් කරනවා.”
බංග්ලාදේශය විසින් ICCයේ ද්විත්ව ප්‍රතිපත්ති මේ අයුරින් විවේචනය කළත්, ICCය සෑම මොහොතකම අවධාරණය කරන්නේ ලෝක කුසලානය ආරම්භ වීමට සීමිත කාලයක් තිබිය දී මෙවන් වෙනස්කම් සිදු කළ නොහැකි බවයි.
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට බංග්ලාදේශයේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් එය තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ. එමෙන්ම මෙම ගැටලුවේ දී බංග්ලාදේශය ගන්නා තීරණය මෙතෙක් ඉතිහාසයේ වඩාත් තීරණාත්මක සිදුවීමක් බවට පවා පත් වීමට ඉඩ තිබෙන බව වටහා ගත හැකි.
තොරතුරු: ESPN Cricinfo
මෙම සිදුවීම පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















