සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 146ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලදේශ ක්‍රීඩකයෝ අද (03) සමත් වුනා.
ඒ අනුව ඔවුන් තරග 6කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙසින් ඉදිරියට පැමිණිමට ද සමත් වෙනවා. කොළඹ CCC පිටියේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරුෂ නවෝද්‍ය මෙන් ම බංග්ලාදේශය වෙනුවනේ Sanjid Mozumder යොවුන් එක්දින වරම් දිනා ගත්තා.
ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), දුල්නිත් සිගේරා, රෙහාන් පීරිස්, චාමික හීනටිගල, කිත්ම විදානපතිරණ, දිනුර දම්සිත් (කඩුලු රකින්නා), දෙනුර දිමන්සිත්, සනුජ නිඳුවර, රසිත් නිම්සර, තරුෂ නවෝද් සහ හිමල් රවිහංස.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Azizul Hakim Tamim (නායක), Zawad Abrar, Kalam Siddiki Aleen, Rizan Hossan, Md Abdullah (කඩුලු රකින්නා), Debashis Sarkar Deba, Samiun Basir Ratul, Farid Hasan, Al Fahad, Md Rafi Uzzaman Rafi සහ Sanjid Mozumder.
අද තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 336ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Zawad Abrar. ඔහු පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 113ක් ලබා ගන්නවා. එය ඔහු මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.
ඔහුට අමතර ව Rizan Hossan පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 142ක දී ලකුණු 135ක් එක් කිරීමට ද සමත් වෙනවා.
ඔවුන්ට අමතර ව Md Abdullah පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී රසිත් නිම්සර ලකුණු 96කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අද මංගල යොවුන් එක්දින වරම් දිනා ගත් දකුණතින් පිට දඟ පන්දු යවන තරුෂ නවෝද්‍ය කඩුලු 2ක් ද සහ සනුජ නිඳුවර කඩුල්ලක් ද දවා ගත්තා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 337ක් හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 190කට සීමා කිරීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ම කඩුලු 4ක් දවා ගනිමින් එහි වාසිය සංචාරක ක්‍රීඩකයෝ ලබා ගන්නවා. කෙසේ වෙතත් එම පන්දු වාර 10 අවසන් වෙද්දී ලකුණු 61ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වෙනවා.
ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි චාමික හීනටිගල සහ නායක විමත් දින්සර එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ චාමික හීනටිගල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
විමත් දින්සර 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද පළමු අර්ධ ශතකයයි.
ඊට අමතර ව රසිත් නිම්සර පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. ඔහු තරුෂ නවෝද්‍ය සමඟ 10 වැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. මේ ලකුණු අතුරින් තරුෂ නවෝද්‍ය ලබා ගන්නේ ලකුණු 3ක් පමණක් වීම විශේෂයි.
ඔහුන්ට අමතර ව කවිජ ගමගේ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් අතරට පිවිසීමට ඉඩ නොලැබුණ අතර කඩුලු දවා ගැනීමේ දී Al Fahad ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව Azizul Hakim සහ Sanjid Mozumder කඩුලු ද්විත්වය බැගින් ද Kalam Siddiki, Samiun Basir සහ Debasish Deba කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 336 (50.0) Zawad Abrar 113, Azizul Hakim 23, Rizan Hossan 82, Md Abdullah 32, Samiun Basir 23, Al Fahad නොදැවී 19, රසිත් නිම්සර 3/96, තරුෂ නවෝද්‍ය 2/45
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 190 (38.4) චාමික හීනටිගල 30, විමත් දින්සර 66, කවිජ ගමගේ 23, රසිත් නිම්සර 39, Al Fahad 3/41, Sanjid Mozumder 2/59, Azizul Hakim 2/07
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 146ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 5 වැනි යොවුන් එක්දින තරගය මේ මස 05 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<