දකුණු අප්‍රිකාවට එරෙහි ව ඔස්ට්‍රේලියානුවන්ගේ Mackay ප්‍රහාරය

South Africa tour of Australia

111
South Africa tour of Australia

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නිමා වෙන්නේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයට මෙන් ම ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ ද වාර්තා කිහිපයක් ම එක් වෙමින්.

දෙරට අතර පැවැති පළමු තරග ද්විත්වයේ ම ජයග්‍රහණ සංචාරක ක්‍රීඩකයෝ ලබා ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය තරග 2-1ක් ලෙසින් තමන් සතු කර ගත්ත ද අවසන් තරගයේ දී එම තරග ද්විත්වයේ ම වාඩුව ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානුවෝ සමත් වෙනවා.

431/2 : ඔස්ට්‍රේලියාව විසින් මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව ඔවුන්ගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 2 වැනියට වැඩිම ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.

එහි පළමු ස්ථානය හිමි ව ඇත්තේ දකුණු අප්‍රිකාවට ම එරෙහි ව 2006 වසරේ දී Johannesburg හි දී කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 434යි.

  • ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව තම රටේ දී වාර්තා කරන ලද ඉනිම් අතර පළමු ස්ථානය පත් ඉනිම බවට පත් වුණා. එතෙක් මෙහි වාර්තාව රැඳී තිබුණේ ඔවුන් විසින් 2015 වසරේ දී Perth හි දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 417යි.
  • එමෙන් ම මෙම ලකුණු සංඛ්‍යාව ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහි ව ලබා ගත් ඉනිම් අතර 2 වැනි ස්ථානය පත් දක්ෂතාව බවට ද පත් වුණා.

එහි පළමු ස්ථානය 2006 වසරේ දී Johannesburg හි දී කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 434ට හිමි වෙනවා.

  • ලෝක එක්දින තරග ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය ක්‍රියාත්මක වෙද්දී ලබා ඇති ලකුණු අතර ඔස්ට්‍රේලියානුවන්ගේ ඉනිමට හිමි වෙන්නේ 2 වැනි ස්ථානයයි.

එහි පළමු ස්ථානය 2015 වසරේ දී දකුණු අප්‍රිකාව විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 439 හිමි වෙනවා.

3x100s : මෙම තරගයේ දී Travis Head, Mitchell Marsh සහ Cameron Green විසින් ශතක රැස් කරන ලද අතර එය ලෝක එක්දින තරග ඉතිහාසයේ එක් ඉනිමක දී ශතක ත්‍රිත්වයක් රැස් කරන ලද 2 වැනි තරගය බවට පත් වූවා.

මීට පෙර මෙම දක්ෂතාව දක්වන්නේ 2015 වසරේ දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් වූ Hashim Amla (153*), Rilee Rossouw (128) සහ AB de Villiers (149) විසින් Johannesburg හි දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේයි.

Cameron Green, Mitchell Marsh and Travis Head

Cameron Green, Mitchell Marsh සහ Travis Head තරගයෙන් අනතුරුව (2025.08.24)

142 : ආරම්භක වමත් පිතිකරු Travis Head මෙම තරගයේ දී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 142ක් ලබා ගන්නේ තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 7 වැනි ශතකයේදීයි.

100 : නායක Mitchell Marsh තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 4 වැනි ශතකය වාර්තා කිරීමට මෙම තරගයේ දී සමත් වෙන අතර ඒ සමඟ ම එක්දින ජාත්‍යන්තර ලකුණු 3000 කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා.

ඔහු මෙම තරගයේ දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා.

118* : Cameron Green මෙම තරගයේ දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 118ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මංගල ශතකයයි.

  • ඔහු මෙම තරගයේ දී පන්දු 47ක දී තම ශතකය වාර්තා කරන ලද අතර එය ඔස්ට්‍රේලියානුවෙකු විසින් වාර්තා කරන ලද වේගවත් ම ශතක අතර 2 වැනි ස්ථානයට පත් වෙනවා.

එහි පළමු ස්ථානය හිමි වෙන්නේ 2023 වසරේ දී නෙදර්ලන්තයට එරෙහි ව Delhi හි දී Glenn Maxwell විසින් පන්දු 40ක දී ලබා ගන්නා ලද ශතකයයි.

  • ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක් දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව වාර්තා කරන ලද වේගවත් ම ශතකයේ හිමිකාරීත්වය Cameron Green ගේ මෙම ඉනිමට හිමි වෙනවා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුනේ 2007 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී St Kitts හි දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව පන්දු 66ක දී වාර්තා කළ ශතකයයි.

81 : මෙම තරගයේ දී Cameron Green සහ Alex Carey විසින් 3 වැනි කඩුල්ලට නොදැවී වාර්තා කරන ලද ලකුණු 164 පන්දු 81ක දී වාර්තා කරන ලද අතර එය ඔස්ට්‍රේලියානු එක්දින තරග ඉතිහාසයේ ලකුණු 150කට වැඩියෙන් වූ සබඳතාවන් අතර වේගවත් ම ලකුණු සබඳතාව බවට පත් වුණා.

එතෙක් එහි පළමු ස්ථානය හිමි ව තිබුණේ 2015 වසරේ දී Sydney හි දී ශ්‍රී ලංකාවට එරෙහි ව Glenn Maxwell සහ Shane Watson එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 82ක් පමණක් වැය කරමින් වාර්තා වූ සබඳතාවයි.

276 : දකුණු අප්‍රිකාවට එරෙහි ව ඔස්ට්‍රේලියාව විසින් ලබා ගන්නා ලද මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් පරාජිත තරගය ලෙසින් ඉතිහාසයට එක් වුණා.

මීට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන හිමි ව තිබුණේ ඉන්දියාවටයි. ඔවුන් 2023 වසරේ Eden Gardens ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන තරගයක දී දකුණු අප්‍රිකානුවෝ ලකුණු 243කින් පරාජය කර තිබුණා.

  • එමෙන් ම මෙම ජයග්‍රහණය ඔස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ 2 වැනි ස්ථානය දක්වා උසස් වීම් ලද තරගය ද වූවා. මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි ව තිබෙන්නේ 2023 වසරේ දී නෙදර්ලන්තයට එරෙහි ව ඔස්ට්‍රේලියාව විසින් ලකුණු 309කින් ලත් ජයග්‍රහණයයි.
  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් අතුරින් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරග අතුරින් මෙම තරගය ලැයිස්තු ගත වෙන්නේ සිව් වැනි ස්ථානයටයි.

ICC පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් අතුරින් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම් 5

  ජයග්‍රාහකයා ලකුණු පරතරය ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය වසර
1 ඉන්දියාව ලකුණු 317ක ජයක්. ශ්‍රී ලංකාව Trivandrum 2023
2 ඉන්දියාව ලකුණු 302ක ජයක්. ශ්‍රී ලංකාව Wankhede 2023
3 නවසීලන්තය ලකුණු 290ක ජයක්. අයර්ලන්තය Aberdeen 2008
4 ඔස්ට්‍රේලියාව ලකුණු 276ක ජයක්. දකුණු අප්‍රිකාව Mackay 2025
5 ඔස්ට්‍රේලියාව ලකුණු 275ක ජයක්. ඇෆ්ගනිස්තානය Perth 2025

250 : මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවන් වූ Travis Head සහ Mitchell Marsh විසින් පළමු වැනි කඩුල්ලට වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය ඔස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ 5 වැනි ස්ථානයට ලැයිස්තු ගත වූ දක්ෂතාවයි.

5/22 : මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ Cooper Connolly පෑ දක්ෂතාව ඕස්ට්‍රේලියා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දඟ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වුණා.

ඊට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ වමතින් දඟ පන්දු යැවූ Brad Hogg. ඔහු 2005 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව Melbourne හි දී ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ වසර 20ක් ම රැඳී සිටියා.

Cooper Connolly

Cooper Connolly කඩුල්ලක් දවා ගැනීම සමරමින්… (2024.08.24)

  • Cooper Connolly මෙම දක්ෂතාව දක්වන විට වයස අවුරුදු 22කුත් දින 2ක් වූ අතර ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අඩු ම වයසින් කඩුලු 5ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වුණා. ඊට පෙර මෙම දක්ෂතාව දක්වා තිබුණේ Craig McDermott. ඔහු 1987 වසරේ දී පාකිස්තානයට එරෙහි ව මෙවැනි දක්ෂතාවක් දක්වන විට වයස අවුරුදු 22කුත් දින 204ක් ගත ව තිබුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<