සංජනා, චමෝදි සහ අසෙනි දක්ෂතා දක්වයි

Australia U 19s Women tour of Sri Lanka

199
Australia U 19s Women tour of Sri Lanka

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් යොවුන් විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයෙන් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (20) සමත් වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී සංචාරක ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 108ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරයි, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අසෙනි තලගුණේ.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Samara Dulvin (නායිකාව), Shiloh Julien, Indira Panelli, Emily Powell, Lucy Finn, Eva Baird, Chelsea Sonter (කඩුලු රකින්නිය), Lucy Hamilton, Ayaka Kato-Stafford, Sara Kennedy සහ Ava Drury.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුබවාදී ආරම්භයක් ලබා ගැනීමට සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය සමත් වූවා. ඔවුන් දෙදෙනා විසින් 1 වැනි කඩුල්ලට පන්දු 87ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කරනවා.

සංජනා කාවින්දි පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 62කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ තෙවැනි පන්දුවේ දී විමෝක්ෂා බාලසූරිය ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

අනතුරු ව රශ්මිකා සෙව්වන්දි ලකුණකට දැවී යන අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නායිකා මනුදි නානායක්කාර පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද සහ රශ්මි නේත්‍රාංජලී පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ava Drury ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත් අතර Ayaka Kato-Stafford කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 21ක් වෙද්දී දවා ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. නමුත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 55ක දී ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට Shiloh Julien සහ Emily Powell සමත් වීමත් සමඟින් තරගයේ පාලනය සංචාරක ක්‍රීඩිකාවන් සතු වූවා.

ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 30 දී අවශ්‍ය වූයේ තවත් ලකුණු 52ක් පමණයි. ඒ වෙනුවෙන් තවත් කඩුලු 7ක් ඔවුන් සතු වූවා. එහෙත් සංචාරක ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ එම පන්දුවාර 5 දී ලකුණු 26ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යනවා.

ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙද්දී චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් ද සහ අසෙනි තලගුණේ ලකුණු 25කට කඩුලු 3ක් ද දවා ගනිමින් වැඩි දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් දවා ගත්තා.

 ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූයේ Emily Powell. ඇය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. ඊට අමතර ව Shiloh Julien පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 133 (20.0)සංජනා කාවින්දි 62, විමෝක්ෂා බාලසූරිය 21, මනුදි නානායක්කාර නොදැවී 28, Ava Drury2/23
  • ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 108 (20.0)Shiloh Julien 28,Emily Powell 39, චමෝදි ප්‍රබෝධා 3/16, අසේනි තලගුණේ 3/25

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 25ක ජයක්.

  • Player Of the Match – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව)
  • Quality Player – චමෝදි ප්‍රබෝධා (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන් 2 වැනි යොවුන් විස්සයි විස්ස තරගය හෙට (21) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<