සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. ඒ සමඟ දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය නිමා වුනේ 1-1ක් ලෙසයි.
තරගය තෙවැනි දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස් කරගෙන සිටියා.
හත්වැනි කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ලකුණු 68ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 29ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් අද (11) පළමු කඩුල්ල ලෙස දැවී ගියා.
ඉන්පසු පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ ලකුණු 10කට සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබාම දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුනේ චන්දිමාල් පිටියේ හුදකලා කරමිනුයි.
එම දැවී යාම් වලින් අනතුරුව සිය ද්විත්ව ශතකය තරමක් අවිනිශ්චිත මට්ටමකට පැමිණියත්, Mitchell Starc යොමු කළ පන්දු තුනකට නොකඩවා හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින් සිය මංගල ද්විත්වය ශතකය සම්පූර්ණ කිරීමට චන්දිමාල්ට හැකි වුනා.
ඒ සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 192කa අභිබවා යමින් ඔවුන්ට එරෙහිව ටෙස්ට් තරගයක දී ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට චන්දිමාල්ට හැකි වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස කසුන් රාජිත ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 554කට සීමා වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 206ක් රැස් කර සිටියා.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයක්.
එම කැපී පෙනෙන පිතිකරණය නිසාවෙන් මෙම තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.
- චන්දිමාල් ශතකයක් රැස් කරද්දී කමිඳු සහ මැතිව්ස්ගෙන් අර්ධ ශතක
- ශෙහාන් ජයසූරිය ඇමරිකා ක්‍රිකට් පිටිය දෙවනත් කරයි
- Labuschagne සහ Smith ශතක අතරට; පළමු දිනයේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 3ක්
ලකුණු 190ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වීමෙන් පසු David Warner ලකුණු 24කට දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි.
පළමු ඉනිමේ ලැබූ රිද්මයෙන් මෙම ඉනිමේත් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය විසින් Usman Khawaja ලකුණු 29කට සහ Steven Smith ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළේ එක් පන්දුවාරයක් තුළයි.
Travis Head හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් රමේෂ් මෙන්ඩිස් ඔහුව පිටියෙන් ඉවත් කරන විට ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 74ක් ලෙසයි.
පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 38ක සම්බන්ධතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැගීමට Marnus Labuschagne සහ Cameron Green උත්සහ කළත්, නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රභාත් Labuschagneව ලකුණු 32කට දවා ගත්තා.
ඒ සමඟම Cameron Green ලකුණු 23කට සහ Mitchell Starc ලකුණු නොලබාම දවා ගන්නට ප්‍රභාත් සමත් වුනේ සිය මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේත් කඩුලු පහේ සීමාව පසු කරමිනුයි.
වේගවත් ඉනිමකට උත්සහ කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ නංවාලීමට උත්සහ කළ ඕස්ට්‍රේලියානු නායක Pat Cummins ලකුණු 16කට සහ Nathan Lyon ලකුණු 5කට දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට සමීප කිරීමට මහීෂ් තීක්ෂණට හැකි වුනා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස Mitchell Swepson ලකුණු නොලබාම දවා ගනිමින් තරගයේ ලබා ගත් 11 වැනි කඩුල්ල සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට ප්‍රභාත්ට හැකි වූ අතර මංගල ටෙස්ට් තරගයක දී වැඩිම කඩුලු දවා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වුනා.
ඒ සමඟින් මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයග්‍රහණය කරමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා. මේ සමඟින් සියලු ආකෘතිවලින් සමන්විත වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය ද නිමාවට පත්වනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<