රන්සිළුගෙන් ආසියානු වාර්තාවක්

295

අන්තර්ජාතික සවි එසවීමේ සම්මේලන ලෝක ක්ලැසික් සවි එසවීමේ තරගාවලියේ දී නව ආසියානු වාර්තාවක් පිහිටුවන්නට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ රන්සිළු ජයතිලක සමත් විය.

තරගාවලිය මේ දිනවල දී බෙලරූස් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සවි එසවීමේ ක්‍රීඩකයෙක් වන රන්සිළු ජයතිලක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ ‘Deadlift’ තරග අංශය සඳහා සහභාගී විය. එහි දී කිලෝග්‍රෑම් 315ක බරක් ඔසවමින් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් තම ක්‍රීඩා දිවියේ තවත් එක් කඩඉමක් කරා ළඟා වන්නට රන්සිළු සමත් විය.

තිලිණ, ලොව හොඳම තිදෙනා අතරට

ස්ට්‍රේලියානු iCompete natural සමාජය මඟින් සංවිධානය කරන ලද ලෝක ආධුනික ශක්තිවන්තයන්ගේ තරගාවලිය (World pro fitness) තුළදී ලොව තෙවන ස්ථානය ලබාගන්නට ඕස්ට්‍රේලියාවේ…

ඒ අනුව තරගය අවසානයේ ඔහු සමස්ත තරග අංශයේ  7 වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එසවූ ඉහළම බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 315, ඔහු ඔසවනු ලැබුවේ තරගය තුළ ඔහු සිදු කරනු ලැබූ දෙවන ප්‍රයත්නයේ දීය. ඒ අනුව ඔහු මෙහි දී බිඳ දමන ලද්දේ කසකස්තාන ජාතික ගොළුබෙව් ව්ලැමිදීර් විසින් ඉන්දියාවේ දී පැවති ආසියානු ක්ලැසික් සවි එසවීමේ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 312.5ක් ඔසවමින් තබා තිබූ ආසියානු වාර්තාව යි.

ඔහු ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියේ;

“මේක ආසියානු වාර්තාවක්. මේ ජයග්‍රහණය ලබා ගන්න වසර ගණනාවක් පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ වගේම ලෝකයේ හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීම පහසු කාර්යයක් වුනේ නැහැ. මේක මගේ ක්‍රීඩා දිවියේ තවත් එක් සුවිශේෂී කඩඉමක්. ඒ අනුව ලබන වසරේ තරගාවලියේ දී පදක්කමක් ලබා ගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.”

සවි එසවීමේ ක්‍රීඩාව මේ වන විට අදාළ බලධාරීන්ගේ, ජනමාධ්‍යවල මෙන්ම මහජනතාවගේ ද අවධානය දිනා ගත් ක්‍රීඩාවක් බවට පත්ව ඇතත්, එය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සවි එසවීමේ ක්‍රීඩකයෙක් ලෙස රන්සිළු හට මුහුණ දීමට සිදු වූ අපහසුතා සහ අභියෝග පිළිබඳව විමසා සිටි විට ඔහු පවසා සිටියේ;

“අපි පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ සාමාන්‍ය මට්ටමේ උපකරණ එක්ක. ඒ නිසා අන්තර්ජාතික මට්ටමේ තරගවල දී එහි තිබෙන උපකරණ එක්ක නිසි රිද්යමට පැමිණීම අපිට ගොඩක් අපහසු කටයුත්තක්. ඒ වගේම මේ වන විට ක්‍රීඩාව සඳහා ජාතික සංචිතයක් නැහැ. ඒ නිසා සම්මේලනයෙන් අපට අවශ්‍ය කිසිදු පෝෂණ ද්‍රව්‍යයක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත් මෙම සංචාරය සඳහා අපට අනුග්‍රහය දැක්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයට අපි ස්තුතිවන්ත විය යුතුයි.”

පසුගිය වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕලන්ඩෝ නුවර පැවති ලෝක ශූරතා සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ රන්සිළු  කිලෝග්‍රෑම් 760ක සමස්ත බර ප්‍රමාණයක් එසවීමට සමත් වූ අතර ඔහු එම කඩඉම කරා ළඟා වූ ප්‍රථම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වේ. එමෙන්ම ‘squat’ තරග අංශයෙන් කිලෝග්‍රෑම් 292.5ක බරක් සහ ‘Deadlift’ තරග අංශයෙන් කිලෝග්‍රෑම් 310ක බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටු වන්නට රන්සිළු සමත් විය.

ඔහු කැනඩාවේ වෑන්කූවර් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන්නට සමත් විය. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ  නැගී එන තරුණ සවි එසවීමේ ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක කොඩිකාර හට පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ සවි එසවීමේ තරගාවලියේ දී රිදී පදක්කමක් ලබා ගන්නට ද ගුරුහරුකම් ලබා දුන්නේ ය. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සවි එසවීමේ ක්‍රීඩාව සම්බන්ධ කනිෂ්ඨ තරගාවලියක දී ලබාගත් පළමු පදක්කම ද වේ.

එල්ල වූ සියලුම අපහසුතා මඟ හරවා ගනිමින් ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඉහළින් රඳවා තබන්නට රන්සිළු සමත් වීම පිළිබඳව අප සැබවින්ම ආඩම්බරයට පත්විය යුතුය. ඒ අනුව නුදුරු අනාගතයේ දීම ලෝක ශූරතා සවි එසවීමේ තරගාවලියේ දී පදක්කමක් ලබා ගන්නට ඔහු දරන උත්සාහය සාර්ථක වේවායි ThePapare.com අපි ඔහුට සුබ පැතුම් එක්කර සිටිමු.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට