2026 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය අද (08) දිනයෙන් නිමාවට පත් වුනා.
12 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල මෙවර චීනයේ දී පැවැත්වුණු අතර, එය පසුගිය සිකුරාදා සිට අද දක්වා දින තුනක් තුළ ක්‍රීඩා උළෙල ක්‍රියාත්මක වුනා.
මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 07 දෙනෙකු සහභාගී වූ නමුත්, ඔවුන් එක් අයකු හෝ පදක්කමක් කරා යාමට සමත් නොවීම අවාසනාවන්ත සිදුවීමක්.
චමෝද් යෝධසිංහ
පිරිමි මීටර් 60 ඉසව්වට සහභාගී වූ චමෝද් ශ්‍රී ලංකාවට තිබූ ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුවක් ලෙස හඳුනා ගැනුණා.
ඔහු ඉසව්වේ මූලික වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ අතර, එහි දී තත්පර 6.84ක තරග නිමි කාලයක් වාර්තා කරමින්, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
අවසන් පූර්ව වටයේ දී ඔහු විසින් තත්පර 6.69ක තරග නිමි කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔහු මේත් සමඟම අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ නමුත් අවසන් මහා තරගයේ දී චමෝද් සිය තරග නිමි කාලය ලෙස තත්පර 6.74ක් වාර්තා කල අතර, ඔහුට හිමි වුනේ 07 වැනි ස්ථානයයි.
මනුජ ප්‍රභාශ්
චමෝද් සමඟ පිරිමි මීටර් 60 ඉසව්වට සහභාගී වූ අනෙක් ශ්‍රී ලාංකිකයා වූ මනුජ ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට සහභාගී වෙමින් තත්පර 7.06ක කාලයක් වාර්තා කළ අතර, ඔහුට එහි දී හිමි වුනේ 06 වැනි ස්ථානයයි. මේ හේතුවෙන් මනුජගේ ගමන මූලික වටයෙන් ම නතර වුනා.
නිමාලි ලියනාරච්චි
ආසියනු ගෘහස්ථ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනා ඇති නිමාලි මෙවර සිය තෙවැනි පදක්කම බලාපොරොත්තුවෙන් කාන්තා මීටර් 1500 අවසන් මහා තරගයට සහභාගී වුනා. එහි දී ඇය විසින් මිනිත්තු 4.46.71ක කාලයක් වාර්තා කරමින් 09 වැනි ස්ථානය ලබා ගත්තා. මෙවර ඇයට පදක්කමක් වෙත යා නොහැකි වුවත්, මෙතෙක් කල් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගු දුර ධාවන ඉසව්වල කැපී පෙනෙන චරිතයක් ලෙස ජාත්‍යන්තරය තුළ දිනා ගත් අවධානය නොනැසී පවතිනු ඇති.
- ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි
- වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
- අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මදුශානි හේරත්
ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් පිම්ම සහ දුර පැනීම ඉසව් සඳහා කැපී පෙනෙන නාමය වන මදුශානි හේරත් විසින් මෙම තරගාවලියේ සිය පළමු ඉසව්ව ලෙස තුන් පිම්ම ඉසව්වට සහභාගී වුනා. මෙහි දී ඇය සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 13.10ක දුරක් සටහන් කිරීමට සමත් වූ නමුත්, එය පදක්කමක් කරා යෑමට තරම් සාර්ථක එකක් වුනේ නැහැ. මෙහි දී ඇයට හිමි වුනේ 07 වැනි ස්ථානයයි.
මින් පසුව ඇය කාන්තා දුර පැනීම ඉසව්වට ද සහභාගී වුනා. එහි දී ඇය විසින් මීටර් 6.11ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, ඒ අනුව ඇයට පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට හැකි වුනා. එම දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එමෙන්ම මෙම ඉසව්වේ දී ඇයට පදක්කමක් කරා යාමට යම් අවස්ථාවක් උදා කර ගැනීමට හැකි සෙයක් ද වරෙක පෙනී ගියා. කෙසේ වෙතත් මෙවර මදුශානිගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකි වුනේ නැහැ.
මෙත්මි රසාරා විජේසූරිය
කාන්තා මීටර් 3000 ඉසව්වට සහභාගී වූ මෙත්මි විජේසූරිය විසින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස මිනිත්තු 9.22.97ක කාලයක් සටහන් කිරීමට සමත් වුනා. එමෙන්ම එයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුනා. එය ඇයට තරගයේ 06 වැනි ස්ථානය හිමි කර දුන් නමුත්, මෙහි දී අධික සීතල තත්ව යටතේ පවා ජාතික වාර්තාවක් වෙත යාමට ඇයට හැකි වීම අගය කටයුතුයි.
පසිඳු මල්ශාන්
පසිඳු විසින් පිරිමි තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ අතර, මෙහි දී ඔහු විසින් දැක් වූ ඉහළම දක්ෂතාව ලෙස මීටර් 15.70 සටහන් වුනා. එය ඔහුට පදක්මමක් කරා යාමට තරම් ප්‍රමාණවත් නොවූ නමුත්, ඉසව්වේ පස් වැනි ස්ථානය වෙත රැගෙන යාමට ප්‍රමාණවත් වුනා. එමෙන්ම මෙය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුනා.
(මෙම වාර්තා සියල්ල ගෘහස්ථ ජාතික වාර්තා ලෙසයි සටහන් වුනේ.)
දසුන් සමරවීර
පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ තරිඳු දසුන් සමරවීර විසින් වාර්තා කිරීමට සමත් වුනේ මීටර් 2.05ක දක්ෂතාවක් පමණයි. එය පදක්කමක් කරා යාමට කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ අනුව දසුන්ට මෙම ඉසව්වෙන් 06 වැනි ස්ථානය (සම) හිමි වුනා.
ඒ අනුව 12 වැනි ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල මේ අයුරින් නිමාවට පත් වන්නේ ශ්‍රී ලංකාවට මෙවර පදක්මම් සටහනට ඇතුළත් වීමට අවස්ථාවක් හිමි කර නොදෙමිනුයි. කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ජාතික වාර්තා ත්‍රිත්වයක් වාර්තා වුනා. මේ අතර මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 10ක් සමඟ සමස්ත පදක්කම් 34ක් වාර්තා කිරීමට සමත් වූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















