අසේල ගුණරත්න නැවතත් සුපුරුදු දක්ෂතා අතරට

3045

ආසියානු කලාපයේ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවති තීරණාත්මක ශ්‍රී ලංකාව සහ ඉන්දීය නැගී එන කණ්ඩායම් අතර තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කළ අසල්වැසි ඉන්දීය කණ්ඩායම ‘ඒ’කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අද (10) සමත් විය.

කමිඳු මෙන්ඩිස්ගේ දක්ෂතා හමුවේ ඇෆ්ගන් ක්‍රීඩකයෝ දණ නමති

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හෙවත් ‘ඒ’ කාණ්ඩයේ යටතේ තරග වැදි දෙවැනි එක්දින තරගයෙන් ද ඇෆ්ගනිස්තානු කණ්ඩායමට…

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් රඳවාගෙන ආ අපරාජිතභාවය ද බිඳ වැටුණු නමුත් ලබන 13 වැනිදා ආරම්භ වන අර්ධ අවසන් තරගවලට සුදුසුකම් ලබා ගැනීමට එය බාධාවක් නොවීය.

ලකුණු 261ක ඉලක්කයක් හඹා යෑමේ දී ආතර්වා ටයිඩ්ව පළමු පන්දුවෙන්ම දවා ගත් අසිත ප්‍රනාන්දු පස්වැනි පන්දුවාරයේ දී නිටිෂ් රනාගේ කඩුල්ල දවා ගනිමින් වැඩි වාසි ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය. එහෙත් අනතුරුව පිටියට පැමිණි හමාත් සිං පන්දු 140ක දී ලකුණු 126ක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පෙරමුණේ මුහුණ දුන් පීඩනය සතයකට හෝ මායිම් නොකරමිනි.

Photos : Sri Lanka vs India – ACC Emerging Asia Cup 2018

හයේ පහර දෙකක් සහ හතරේ පහර 12කින් තම ඉනිම වර්ණවත් වූ සිං, රුටුරාජ් ගයික්වාද් සමඟ එක් වෙමින් පන්දු 143ක දී තෙවැනි කඩුල්ලට එක් කරන ලද ලකුණු 148ක සම්බන්ධතාව ඉන්දීය ජයග්‍රහණයේ ශක්තිමත් පදනම විය. ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ කඩුලු රකින වීරක්කොඩි අතට උඩ පන්දුවක් ලබා දෙමින් ගයික්වාද් දැවී යන විට පන්දු 73ක දී ලකුණු 67ක් රැස් කරගෙන සිටියේය.

අනතුරුව පන්දුවට අතට ගත් කමිඳු මෙන්ඩිස් දීපක් හුදා (26), සිම්රන් සිං (03) සහ ජයන්ට් යාදව් (09) ව ලකුණු 25ක දී දවා ගැනීමට සමත් වුවද, අනෙක් අන්තයෙන් පවුරක් සේ නොසැලෙමින් පන්දුවට පහර දුන් හමාත් සිං 48 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන විටත් තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙසින් වූ සතුටුදායකම පුවත බවට පත්වූයේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න යළිත් සිය සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වීම විය. අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අසේල පන්දු 64ක දී වේගවත් ලකුණු 67ක් රැස්කළේ හතරේ පහර 7කින් තම ඉනිම අලංකාර කරගනිමිනි. එපමණක් නොව ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක්ම තම කඩුල්ල ද ආරක්ෂා කර ගැනීමට ඔහු වග බලා ගත්තේය.

කුසල් සහ දික්වැල්ල ලකුණු අතරට පිවිසෙමින් බලාපොරොත්තු දල්වති

පළමු ඉනිමේ අසාර්ථක වූ ශ්‍රී ලංකා සෑම පිතිකරුවෙක්ම දෙවැනි ඉනිමේ දී සාර්ථක වෙමින් එළඹෙන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කදිම පෙරහුරුවක් ලබා ගත්…

මුලු ලකුණු සංඛ්‍යාව 155ක්ව තිබිය දී පිටියට පිවිසි අසේල ප්‍රථමයෙන්ම අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නමුදු අවිශ්ක ප්‍රනාන්දු සහ මැදපෙළින් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකු වූ සම්මු අශාන්ගේ කඩුලු ලකුණක් ඉන්දීය පන්දු යවන ශිවාන් මාවි විසින් දවා ගැනීම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. පිට පිට කඩුලු දෙකක් බිඳ වැටීම, කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගයට සෘජුවම බලපෑම් සිදු කරන ලද්දක් වූ අතර එබැවින් ලකුණු 300 සීමාවට ළඟා වීමට තිබූ පහසුම අවස්ථාව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අහිමි විය.

පළමු තරග දෙකේ දී 56, සහ 34 ලෙසින් ලකුණු අතරට පිවිසි අවිශ්ක මෙම තරගයේ දී ද සාර්ථක වෙමින් පන්දු 106ක දී ලකුණු 80ක් රැස් කළේය. හයේ පහරකින් සහ තවත් හතරේ පහර 6කින් අලංකාර වූ ප්‍රනාන්දු තම පළමු ලකුණු 50 මුහුණ දුන් 66 වැනි පන්දුවේ දී සම්පූර්ණ කරගත්තේය. කිසිදු කලබලයක් නොදැක්වූ අවිශ්කගේ ඉනිම ශ්‍රී ලංකාවේ කොඳු නාරටිය බවට පත්වූ බව සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම ලකුණු සම්බන්ධතාව වූයේ අවිශ්ක ප්‍රානාන්දු සහ ෂෙහාන් ජයසූරිය අතර වූ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව විය. ලකුණු 72කින් සමන්විත වූ එම සම්බන්ධතාව සඳහා ඔවුන් දෙදෙනා පන්දු 90ක් වැය කරද්දී ඒ වෙනුවෙන් ජයසූරියගේ දායකත්වය හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ද සමඟ පන්දු 42ක දී ලකුණු 38ක් විය. ෂෙහාන්ගේ ඉනිමට හයේ පහරක් සහ තවත් හතරේ පහර දෙකක් ඇතුළත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ආරම්භය එතරම් සාර්ථක නොවූයේ හසිත බෝයගොඩ මුළු ලකුණු සංඛ්‍යාව 26ක්ව තිබිය දී දැවී යෑම නිසාය. මෙම තරගයට පෙර පැවති තරග දෙකේ දී ම අංක 3 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි බෝයගොඩ මෙම තරගාවලිය යටතේ ප්‍රථම වතාවට ඉනිම ආරම්භ කළ නමුත් ඔහුගේ ඉනිම ලකුණු 06කට සීමා කිරීමට ප්‍රසිද් ක්‍රිෂ්නා සමත් විය.

කඩුලු රැකී සඳුන් වීරක්කොඩිට ද එතරම් වේලා රැඳී සිටීමට ජයන්ට් යාදෙව් ඉඩ ලබා නොදුන් අතර ඔහු ලකුණු 22කට පිටියෙන් ඉවත් විය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තුව බවට පත්ව තිබෙන කමිඳු මෙන්ඩිස්ට ද අද දිනයේ එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය. ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙසින් සැලකෙන කමිඳු, ශාම්ස් මුලානිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට පන්දු 22ක දී ලකුණු 12ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 50ක දී 260/7 – අවිශ්ක ප්‍රනාන්දු 80, අසේල ගුණරත්න(නොදැවී) 67, ෂෙහාන් ජයසූරිය 38, සඳුන් වීරක්කොඩි 22, කමිඳු මෙන්ඩිස් 12, ෂෙහාන් මධුශංක(නොදැවී) 12, ශිවාම් මාවි 62/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/2

ඉන්දීය නැගී එන කණ්ඩායම පන්දුවාර 47.3ක දී 261/6 – හමාත් සිං (නොදැවී) 126, රුටුරාජ් ගයික්වාද් 67, දීපක් හූදා 26, නිටිෂ් රනා 13, ශාම්ස් මුලානි (නොදැවී) 11, කමිඳු මෙන්ඩිස් 51/3, අසිත් ප්‍රනාන්දු 20/2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<