ශ්‍රී ලංකාව සටනක් දී අනුශූරයන් වෙයි

989

අාසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේ කුසලාන අනුශූරතාව දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී සත්කාරක හොං කොං කණ්ඩායමට ප්‍රබල සටනක් දෙන්නට ඔවුන් සමත් වුවද, හොං කොං ක්‍රීඩකයින් පළමු අදියරේ කුසලානය සිය රටේම රඳවා ගන්නට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

අදියර 3කින් සමන්විත ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර ඊයේ ආරම්භ වූයේ, හොං කොං දේශයේ හැපී වැලි හී හොං කොං පාපන්දු සංගම් ක්‍රීඩාංගනයේදී යි. ශ්‍රී ලංකාව එහිදී චීන තායිපේ සහ මැලේසියා කණ්ඩායම් පරාජයට කරමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඊයේ දිනයේ අවසන් තරගයේදී හොං කොං කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමග ඔවුන්ට සිදු වූයේ A කාණ්ඩයේ පෙරළිකාර ජයග්‍රාහකයින් වූ චීන කණ්ඩායම සමග අවසන් පූර්ව තරගයට එක්වීමටයි.


කුසලාන අවසන් පූර්ව තරගය

අද  මෙරට වේලාවෙන් උදෑසන 10.35ට පමණ මෙම තරගය ආරම්භ විය. ඊයේ දිනයේ විශිෂ්ටත්වය අවසන් වටයටත් අදාළ බව පෙන්වමින් චීනය උත්සාහක දිනුමකින් ලකුණු ලබා ගැනීම අරඹන විට ගතවී තිබුනේ මිනිත්තුවක් තරම් සුළු කාලයක් පමණයි. පළමු අර්ධයේ 4 වන මිනිත්තුවේදී කෙවින් ඩික්සන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු සම කරන්නට සමත් වූ අතර දුලාජ් පෙරේරා එහි ප්‍රවර්තනයද සාර්ථක කර ගත්තේ ශ්‍රී ලංකාව ලකුණු 7 -5 ක් ලෙස පෙරමුණට ගෙන එමිනුයි.

කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වන්නට තත්පර කිහිපයක් ඉතිරිව තිබියදී චීනයේ බින් ගාඕ යලිත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් චීනය ඉදිරියට ගෙන ගියද එහි ප්‍රවර්තනයත් අසාර්ථක වීම හේතුවෙන් පළමු අර්ධය අවසන් වනවිට චීනය සතුවූයේ ලකුණු 3ක වාසියක් පමණයි. ඒ ලකුණු 07 – 10 ක් ලෙසයි.

දෙවන අර්ධයේ ආරම්භයත් සමගම නායක ධනුෂ්ක රංජන් අගනා උත්සාහක දිනුමක් වාර්තා කලේ යලිත් තරගයේ වාසිය තම කණ්ඩායමට පිරිනමමිනුයි. දුලාජ් පෙරේරාගේ පා පහර යලිත් සාර්ථක වීම හේතුවෙන් අතිරේක ලකුණු 2ත් ශ්‍රී ලංකාවට හිමිවෙද්දී ලකුණු පුවරුව 14 – 10 ක් ලෙස සටහන් විය.

නමුත් චීන කණ්ඩායම තම සටන අත්හරින්නට කිසිසේත්ම සූදානම් නැති බව ඔවුන්ගේ ක්‍රීඩා විලාශයෙන් මනාව පිළිබිඹු විය. තරග අවසානයට මිනිත්තු එක හමාරක පමණ කාලයක් ඉතිරිව තිබියදී ෂින්යේ හූ ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් අතරින් උත්සාහක දිනුම් රේඛාව කරා පන්දුව ගෙන යන්නට සමත් වූ අතර මේ තරගයේ පළමු වරට චොං මා ප්‍රවර්තනයද සාර්ථක කරගත්තේ චීනය නැවත වරක් ලකුණු 3කින් ඉදිරියට ගෙන යමින්.

තරගයේ නියමිත කාලය අවසන්ව ජයග්‍රහණය චීනයට හිමිවීමට තත්පර කිහිපයක් පමණක් ඉතිරිව තිබූ මොහොතේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වූයේ හිරන්ත පෙරේරායි. ඔහු අවසන් තත්පර කිහිපය තුල වාර්තා කල උත්සාහක දිනුම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කල සාධකය බවට පත් විය. මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ 19 -17ක් ලෙසයි. දෙපිලේම ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 3 බැගින් වාර්තා කල අතර දුලාජ් පෙරේරාගේ ස්වර්ණමය ප්‍රවර්තනයන් මගින් ලද වාසිය අවසානයේ කුසලාන අවසන් තරග ස්ථානය, ශ්‍රී ලංකාවට ගෙන දෙන්නට සමත් විය.

මේ අතර කුසලාන දෙවන අවසන් පූර්ව තරගය පැවැතියේ සත්කාරක හොං කොං කණ්ඩායම සහ දකුණු කොරියාව අතරයි. මේ තරගය ලකුණු 28 – 14 ක් ලෙස වැඩි අභියෝගයකින් තොරව ජයගත් හොං කොං ක්‍රීඩකයින් තම B කාණ්ඩයේ ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට එක්වන්නට සුදුසුකම් ලබා ගන්නා ලදි.


කුසලාන අවසන් තරගය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 22 – 00 ක් ලෙස පහසුවෙන් පරාජය කල හොං කොං ක්‍රීඩකයින් අවසන් තරගයේදීත් පහසු ජයග්‍රහණයක් ලබනු ඇති බව, බොහෝ දෙනා තුල තිබූ විශ්වාසයයි. කෙසේ වෙතත් එම විශ්වාසය ආරම්භයේදීම පුස්සක් බවට පත් කල නායක ධනුෂ්ක රංජන් අවසන් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර දුලාජ් පෙරේරා එය සාර්ථකව ප්‍රවර්තනය කරන්නටද සමත් විය.

හොං කොං කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් කනිංහම් සහ ක්‍රිස්ටෝෆර් මෙයිස් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කල අතර ඉන් එකක ප්‍රවර්තනයද නිවැරදිව එල්ල කල ඔවුන් පළමු අර්ධය අවසන් වනවිට තරගයේ පෙරමුණ ගෙන සිටියේ ලකුණු 12 – 07 ක් ලෙසිනි.

දෙවන අර්ධයට නියමිත කාලයෙන් හරි අඩක් ගෙවී අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොං කොං ක්‍රීඩකයින් අභිබවා පෙරමුණට පැමිණීමට සමත්ව විය. ජේසන් දිසානායක දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කල අතර නායක ධනුෂ්ක රංජන් මේ තරගය තුල දෙවන වරටත්, ප්‍රතිවාදී ආරක්ෂක පෙළ මගහරිමින් අගනා උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. කෙසේ වෙතත් මෙම අවස්ථා දෙකේම ප්‍රවර්තනයන් අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා වාසිය ලකුණු 5කට සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු මිනිත්තු කිහිපයකට සීමා කල ලී ජෝන්ස්, දෙවන අර්ධයේ අවසන් භාගය තුල වාර්තා කල උත්සාහක දිනුම සාර්ථක ප්‍රවර්තනයකින් අවසන් වීමත් සමග තරගයේ වාසිය නැවත හොං කොං කණ්ඩායම වෙත දෝලනය වූයේ ලකුණු 19 -17 ක් ලෙසිනුයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණය කිරීමට මං සොයන අතර අවසන් මිනිත්තුවේදී ඔවුන්ගෙන් සිදුවූ අඩුපාඩුවක් හේතුවෙන් ලද දඬුවම් පහර ගෝල කණු අතරින් යොමු කළ බෙන්ජමින් රිමේන් හොං කොං කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන ලදී.

තරගයේ අවසන් ලකුණු තත්ත්වය 22 – 17 ක් ලෙස දැක්විය. තෙවන ස්ථානය සඳහා පැවති  තරගයේදී, ඊයේ පරාජයේ අවමානය මකාගත් දකුණු කොරියානුවන් ලකුණු 33 – 14ක් ලෙස චීනය පරදවන්නට සමත් විය. ජපානයට පළඟ ශූරතාව හිමිවූයේ සිංගප්පූරුව සමග දැඩි සටනක් දීමෙන් අනතුරුවයි.

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරෙන් අනතුරුව කණ්ඩායම් ස්ථාන ගතවී සිටින්නේ මෙලෙසින්.

  1. හොං කොං
  2. ශ්‍රී ලංකාව
  3. දකුණු කොරියාව
  4. චීනය
  5. ජපානය
  6. සිංගප්පූරුව
  7. චීන තායිපේ
  8. මැලේසියාව

2016 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර සැප්තැම්බර් මස 24 -25 යන දින වලදී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර අවසන් අදියර ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී යි.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වූ හොං කොං කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූයේ පළඟ අනුශූරතාවයි. අද දිනයේ ඔවුන් පළමුවෙන් මුහුණ දුන් පළඟ අවසන් පූර්ව තරගයේදී ගුවාම් කාන්තා කණ්ඩායම ලකුණු 26 – 00 ක් ලෙස පහසුවෙන් පරාජය කරන්නට සමත් විය. අනුෂා අත්තනායක, දුලානි පල්ලිකොන්දගේ, අයේෂා පෙරේරා සහ දසුනි ද සිල්වා උත්සාහක දිනුම බැගින් වාර්තා කල අතර රන්දිකා කුමුදුමාලී ඉන් අවස්ථා 3කම ප්‍රවර්තන සාර්ථක කර ගන්නට සමත් විය.

පළඟ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ සිංගප්පූරු කණ්ඩායමයි. තරග ආරම්භයෙන් මිනිත්තුවක් ගතවීමටත් මත්තෙන් දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුමක් වාර්තා කල අතර අයේෂා කළුආරච්චිගේ සාර්ථක ප්‍රවර්තනයත් සමග ශ්‍රී ලංකාව ලකුණු 7 – 0ක්  ලෙස පෙරමුණ ගන්නට සමත් විය. සිංගප්පූරුවද උත්සාහක දිනුමක් වාර්තා කලද එහි ප්‍රවර්තනය අසාර්ථක වීම හේතුවෙන් පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවූයේ ලකුණු 07 – 05ක් ලෙසිනි.

දෙවන අර්ධයේ සිව්වන මිනිත්තුවේදී ඇනබෙල් බර්නදෙත් සිංගප්පූරුව වෙනුවෙන් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කලේ ලකුණු තත්ත්වය 10 – 07 ක් ලෙස ඔවුන්ගේ වාසියට හරවා ගනිමිනුයි. ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම ප්‍රතිවාදී ආරක්ෂක පෙළ පසුකරයන්නට උත්සාහ කළද එය අසාර්ථක කල සිංගප්පූරු ක්‍රීඩිකාවන් පළඟ ශූරතාව තමන් සතුකර ගන්නට සමත් විය. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවූයේ මෙම තරගාවලියේ 6 වන ස්ථානයයි.

චීනය ලකුණු 14 – 07 ක් ලෙස පරාජය කළ ජපාන ක්‍රීඩිකාවන් හොං කොං සත් සාමජික රග්බි කාන්තා තරගාවලියේ ශූරතාව දිනාගත් අතර 3 වන ස්ථානය සත්කාරක කණ්ඩායමටත් 4 වන ස්ථානය තායිලන්ත ක්‍රීඩිකාවන්ටත් හිමි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට