Rising Stars තරගාවලියේ දී අපට හමුවෙන ප්‍රතිවාදීන්

Asia Cup Rising Stars 2025

2
Asia Cup Rising Stars 2025

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලිය මේ මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා රටවල් 8ක සහභාගීත්වයෙන් කාණ්ඩ 2ක් යටතේ Doha හි දී පැවැත්වීමට නියමිතයි.

A කාණ්ඩය

 

ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A, ශ්‍රී ලංකා A සහ හොංකොං

 

B කාණ්ඩය

 

ඉන්දියා A, ඕමානය, පාකිස්තාන Shaheens සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය

තරගාවලියේ පළමු වටයේ තරග මේ මස 19 වැනිදා අවසන් වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු පුවරුවේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන ද්විත්වය දිනා ගත් කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එම තරග මේ මස 21 වැනිදා පැවැත්වෙන අතර එම වටයේ ජයග්‍රාහී කණ්ඩායම් සහභාගී වන අවසන් මහා තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>>වෙල්ලාලගේ ගේ Rising Stars බලකාය<<

තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමට හමුවෙන ප්‍රතිවාදීන් සහ තරගාවලියේ ශ්‍රී ලංකා කාලසටහන

  • නොවැම්බර් 15

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තරගය Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම මෙම තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබරයේ දී පැවැති ACC Men’s T20 Emerging Teams Asia Cup තරගාවලියේ සුපිරි වීරයන් බවට පත් වෙමින් ලත් අභිමානයත් සමඟිනුයි.

ඔවුන් එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයෝ පරාජය කරන ලද අතර අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ශූරයන් බවට පත් වෙනවා.

නිමා වූ වසරේ ආසියානු Emerging Teams ශූරතාවලිය දිනූ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 9 දෙනෙක් ද සමඟිනුයි ඔවුන් මෙවර තරගාවලියට එක් වෙන්නේ. ඒ අනුව පෙර තරගාවලිය හා එක් වූ Darwish Rasooli, Sediqullah Atal, Mohammad Ishaq, Nangeyalia Kharote, Zubaid Akbari, Bilal Sami, Faridoon Dawoodzai, AM Ghazanfar සහ Qais Ahmad මෙවර ද මෙම කණ්ඩායම හා එක් වෙනවා.

මෙවර තරගාවලිය සඳහා එක් වෙන ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ජාත්‍යන්තර තරග වරම්ලාභී ක්‍රීඩකයන් 10 දෙනෙක් ඇතුලත් අතර කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ඉදිරි පෙළ පිතිකරුවෙක් වන Darwish Rasooli ට.

ඔහු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට ක්‍රීඩා කර ඇති අතර එහි ඔහුගේ දක්ෂතාව වෙන්නේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 221ක්.

කණ්ඩායමේ සිටින වඩාත් ම පරිනත ක්‍රීඩකයා වෙන්නේ කණ්ඩායමේ උප නායක 24 හැවිරිදි වියේ පසුවෙන Sediqullah Atal. ඔහු ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 12ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 22කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්. ඔහුගේ මෙම තරග අතර එක්දින ශතකයක් සහ අර්ධ ශතක 2ක්, විස්සයි විස්ස අර්ධ ශතක 3ක් ද ඇතුලත්.

ඔවුන්ට අමතර ව Qais Ahmad ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 11, AM Ghazanfar ටෙස්ට් තරගයක්, එක්දින තරග 14ක් සහ විස්සයි විස්ස තරග 4ක්, Nangeyalia Kharote එක්දින තරග 10ක් සහ විස්සයි විස්ස තරග 6ක්, Bilal Sami එක්දින තරග 2ක්, Mohammad Ishaq විස්සයි විස්ස තරග 7ක්, Abdollah Ahmadzai විස්සයි විස්ස තරග 6ක්, Ijaz Ahmad Ahmadzai සහ Zubaid Akbari විස්සයි විස්ස තරග 3ක් බැගින් ක්‍රීඩා කරමින් ලත් අත්දැකීම් ද සමඟින් මෙම තරගාවලියට එක් වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් සංචිතය

 

Darwish Rasooli (නායක), Sediqullah Atal (උප නායක), Mohammad Ishaq (කඩුලු රකින්නා), Rahmanullah Zarma Khan, Farmanullah Safi, Ijaz Ahmad Ahmadzai, Nangeyalia Kharote, Zubaid Akbari, Abdollah Ahmadzai, Bilal Sami, Faridoon Dawoodzai, AM Ghazanfar, Qais Ahmad, Imran Mir, Noor ul Rahman.

 

  • නොවැම්බර් 17

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

පසුගිය වසරේ නිමා වූ ACC Men’s T20 Emerging Teams Asia Cup තරගාවලිය නියෝජනය කළ Yasim Murtaza, Babar Hayat, Anshuman Rath, Zeeshan Ali, Aizaz Khan, Nasrulla Rana, Ateeq Iqbal සහ Ehsan Khan යන ක්‍රීඩකයන් 8 දෙනා ද සමඟිනුයි මෙම කණ්ඩායම නම් කර තිබෙන්නේ.

ඒ අනුව නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ 34 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Yasim Murtaza වෙතයි. හොංකොං කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 67කට ක්‍රීඩා කර ඇති ඔහු පළමු පෙළ තරග දිවියේ ආකාර ත්‍රිත්වයෙන් ම ලකුණු 1000 සහ කඩුලු 100 කඩඉම් සපුරා ගත් ක්‍රීඩකයෙක්.

ඔහුගේ සහායකයා ලෙසින් නම් කර ඇතිතේ 33 හැවිරිදි වියේ පසුවෙන Babar Hayat.  ඔහු හොංකොං රාජ්‍යය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 22කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 99කට සහභාගී වී ඇති අතර දක්ෂ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙසිනුයි ඔහු ව සැලකෙන්නේ.

එමෙන් ම විස්සයි විස්ස පිටියේ කඩුලු 98ක් ලබා ගනිමින් මෙම තරගාවලිය සඳහා එක් විමට නියමිත 32 හැවිරිදි වියේ පසුවෙන Aizaz කණ්ඩායම සඳහා නම් කර ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නෙක් ලෙසයි.

කණ්ඩායමේ සිටින ලාබාලත ම ක්‍රීඩකයා ලෙසින් 17 වැනි වියේ පසුවෙන Shiv Mathur ද සහ 20 හැවිරිදි වියේ පසුවෙන Kalhan Challu ද මෙම කණ්ඩායමට ඇතුලත්. ඔවුන් මේ ලාබාල වයසේ දී ම හොංකොං රාජ්‍යය වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට ද සමත් ව සිටින ක්‍රීඩකයන්.

ඊට අමතර ව විස්සයි විස්ස ජාත්‍යන්තර 2කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන 25 වැනි වියේ පසුවෙන  Hassan Khan Mohammad සහ 22 වැනි වියේ පසුවෙන Mohammad Waheed ද මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා.

හොංකොං A කණ්ඩායම් සංචිතය

 

Yasim Murtaza (නායක), Babar Hayat (උප නායක), Anshuman Rath, Kalhan Challu, Shiv Mathur, Kinchit Shah, Zeeshan Ali (කඩුලු රකින්නා), Aizaz Khan, Nasrulla Rana, Nizakat Khan, Ateeq Iqbal, Ehsan Khan, Hassan Khan Mohamma, Mohammad Ghazanfar, Mohammad Waheed.

 

  • නොවැම්බර් 19, (දිවා/රාත්‍රී)

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරගය Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

පෙර වසරේ දී නිමා වූ ACC Men’s T20 Emerging Teams Asia Cup තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ Abu Hider, Jishan Alam, Rakibul Hasan සහ Ripon Mondol ද සමඟින් මෙවර තරගාවලිය එක් වෙන බංග්ලාදේශ A කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවෙන Mohammad Akbar Ali වෙතයි.

පළමු පෙළ තරග 25ක අත්දැකීම් සපිරි ඔහුගේ දක්ෂතා අතර ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලබා ගත් ලකුණු 1142ක් සහ කඩුලු 3ක් රැඳී තිබෙනවා.

ඔවුන්ගේ කණ්ඩායමේ වඩාත් පරිනත ම ක්‍රීඩකයා වෙන්නේ Yasir Ali. 29 වැනි වියේ පසුවෙන ඔහු ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 9ක් සහ විස්සයි විස්ස තරග 11කට තම රට නියෝජනය කර තිබෙනවා.

ඊට අමතර ව ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 3කට එක් වූ  Mahidul Islam Ankon, එක්දින තරග 2ක් සහ විස්සයි විස්ස තරග 13කට එක් වූ Abu Hider, එක්දින සහ විස්සයි විස්ස තරගය බැගින් එක් වූ Mrittunjoy Chowdhury, විස්සයි විස්ස තරග 3ක් බැගින් ක්‍රීඩා කළ Rakibul Hasan  සහ Ripon Mondol ද මෙම සංචිතයට ඇතුලත්.

ඔවුන්ට අමතර ව 17 වැනි වියේ පසුවෙන පළමු පෙළ එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති Shadhin Islam ද මෙම කණ්ඩායමේ අසුනක් වෙන්කර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ A කණ්ඩායම් සංචිතය

 

Mohammad Akbar Ali (නායක), Habibur Rahman Sohan, Mahidul Islam Ankon (කඩුලු රකින්නා), Yasir Ali, Abu Hider, Jishan Alam, SM Meherob Hasan, Mrittunjoy Chowdhury, Rakibul Hasan, Tofael Ahmed, Ripon Mondol, Abdul Gaffar Saqlain, Ariful Islam, Shadhin Islam, Zawad Abrar.

Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<